නිදහස් අදහස්

April 27, 2008

ගුටි පන්දු

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:40 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි තුන්වන සටහන. වෙනද වගේ නෙවෙයි වැසිබර ඉරිදා හැන්දාවේ මොකද්දෝ නොසන්සුන් බවක් හිතේ තියාගෙන තමයි ලියන එක පටන් ගත්තෙ. ඒ අස්සෙ අහස ගිගුරුම් දෙන්නත් පටන් ගත්තා.  ගිය සතියෙ දෙකේ “මගේ සටහන” ට එතරම් ප්‍රතිචාර ලැබිල තිබුනෙත් නෑ වගේ දැනුනා. කොහොම වුනත් මේ සතියේ සටහන මෙතැන් සිට.

ගිය සතියෙත් මතක් කරේ අවුරුදු කාලය හා බැඳුණු මතක සටහන් ගැන. ඒවා සමහර විට ලියාගෙන යන කොට එක එක තැනින් අමුණන නිසා අවිධිමත් ගතියකුත් පේන්න තියෙනවා. මොනව වුනත් මේ සතියෙත් කියන්නට යන්නෙ ඒ ගැනම තමයි. සාමාන්‍යයෙන් අවුරුදු කාලය කියන්නෙ හැමෝම එක තැනකට වෙලා සිරිත් විරිත් ඉෂ්ඨ කරන කාලයක්. තාත්තා ඉන්න කාලයේ දී නම් සිරිත් විරිත් ඉෂ්ඨ කරන එක අකුරටම කරනව. ඒ දවස් වල ගෙදර තුන් දෙනයි. දැන් ඉතින් අවුරුද්දට ඉන්නෙත් අම්මයි මමයි විතරයි. ඒක හින්දම ඉස්සර වගේ වෙලාවට ඒවා කරන්න තරම් උනන්දුවකුත් නැහැ.

අවුරුදු කාලේ සිරිත් වල මම ආසම කරපු දේ තමයි නැකතට ආහාර අනුභව කරන වේලාව. ඔය වෙලාවට අපි ඉස්සෙල්ලම කරන්නෙ පොල්තෙල් පහනක් පත්තු කරන එක. ඒ වැඩේ කරන්නෙ තාත්තා. මට නියම වෙලා තිබුන වැඩේ තමයි ඉස්කෝලේ පොතක් ශබ්ද නගල කියවන එක. ඉගෙන ගන්න ළමයින්ට සුදුසු ඒ වගේ වැඩ කියල ගුරුවරයෙක් වුන නිසාම තාත්තා හිතන්න ඇති. මමත් බොහොම ආසාවෙන් සිංහල පොතේ කැමතිම පාඩමක් අරගෙන කියවනව. පිටු දෙකක් විතර කියෙව්වම ඒ රාජකාරිය අහවරයි. ඊට පස්සෙ තියෙන්නෙ අවුරුද්ද රස විදීම තමයි.

අවුරුදු දවසෙ දහවල් කෑමට අපේ නෑදෑ පිරිස සියලු දෙනාම එකතු වෙන්නෙ අපේ අම්මගේ මහ ගෙදර. දවල් කෑම කිව්වට ඒක ටිකක් වෙනස් වෙනවා නැකත් වෙලාවන් අනුව. ඒ කිව්වෙ ආහාර අනුභව නැකත උදේ වරුවෙ තිබුනොත් දහවල් කෑමට තමයි කට්ටිය එකතු වෙන්නෙ. නැකත දහවලට යෙදිල තිබුනොත් රාත්‍රී කෑම සඳහා. එහෙමත් නැත්තනම් ඉතින් පහුවෙනිදා දවල් කෑමට තමයි. රෑ කෑම දෙන එකට පුංචි කාලේ මගේ කිසි කැමැත්තක් තිබුනෙ නෑ. ඒකට හේතුව අපේ ඥාති සහෝදර සහෝදරියො එක්ක ක්‍රීඩා කරන්න නොලැබෙන නිසා. අවුරුද්දෙ ගෙදර සිරිත් විරිත් ඉෂ්ඨ කරල අම්මයි තාත්යි එක්ක මහ ගෙදරට යනකම් ඉන්නෙ බොහොම නොඉවසිල්ලෙන්.

අපේ සෙල්ලම තමයි ක්‍රිකට් ගහන එක. මහ ගෙදර ගිය ගමන් ආච්චි සහ මාම ට බුලත් දීලා වඳින අපි ඊළඟට ක්‍රීඩාව ආරම්භ කරනවා. අවුරුදු දවසෙ ක්‍රීඩාව ටිකක් විශේෂයි. නිකං දවස් වලට ක්‍රිකට් ගහන්න එකතු වෙන්නෙ මමයි , වැඩිමහල් ඥාති සහෝදරයන් දෙදෙනා පමණයි.  නමුත් අවුරුද්ද දවසට ඒක වෙනස් වෙනවා. ඒ විශේෂ දවස් වල ක්‍රීඩාවට එකතු වෙන පිරිස ඔක්කොම පස් දෙනයි . අපේ අම්මගේ වැඩිමහල්ම සොයුරියගෙ පුතා වන රංග අයියයි ඊළඟට වැඩිමල් සොයුරියගෙ පුතා වන නදික අයියයි තමයි ක්‍රීඩාවේ පෙරමුණ ගන්නෙ. ඊට අමතරව පුංචි සන්ධියෙදි අපේ ඥාති සොයුරියන් දෙදෙනාත් බොහොම කැමැත්තෙන් එකතු වෙනවා. ඒක නිසා ඒ වගේ දවස් වල ක්‍රීඩාවෙදි ටිකක් රණ්ඩු වෙනව වැඩියි.

සාමාන්‍යයෙන් මම කොහොමටත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නෙවෙයි. කොරේ පිටට මරේ කියනව වගේ ඥාති සොහොයුරන් දෙදෙනා මට වඩා වසර පහකින් පමණ වැඩි මහල් නිසා වැඩේ තවත් බරපතල වුනා. කොහොම හරි අපි කණ්ඩායම් බෙදා ගන් යද්දි තමයි තවත් ගැටලුවක් මතු වුනේ. මොකද පස් දෙනෙක් ඉන්න නිසා. ඒක දෙකෙන් බෙදෙන ගණනකුත් නෙවෙයි. ඒක හින්දම එක එක දවසට අපේ කණ්ඩායම් වල සංයුතිය වෙනස්. සංයුතිය මොන ආකාරයේ වුනත් මට හැම වෙලේම අවශ්‍යය වුනේ දිනන පැත්තෙ ඉන්න. ඒ වුනාට අන්තෙටම පරදින වෙලාවල් ඕනෙ තරම් තිබුනා. ලකුණු බිංදුවකට එහෙම දැවිලා ගියොත් මට ඇති වෙන්නෙ දරා ගන්න බැරි තරම් කේන්තියක්.

අපි ක්‍රිකට් ගහන්න යොදා ගත්තෙ ටෙනිස් බෝල. අපේ තාත්තා හරි වෙන කෙනෙක් හරි අපිට බෝල ගන්න සල්ලි දෙනවා. හැබැයි පිති හැටියට පාවිච්චි කලේ පොල් පිති වලින් කපා ගත්ත පිති.  අමු ද්‍රව්‍ය හිඟයක් තිබුනෙ නැති නිසා අපිට පිති වලින් නම් අඩුවක් වුනේ නෑ. නියමිත බරින් යුතු පොල් පිති තෝරගෙන පිතිත තැනීමේ විශේඥයයා වුනේ රංග අයියා. ඒ වගේ හදා ගත්ත පිත්තක් දවස් තුනක් විතර කැඩෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ශිෂ්‍යත්ව විභාගේ සමත් වීම නිමිත්තෙන් මට රුපියල් අසූ ගණනකට ද කොහෙදෝ පිත්තක් තෑගි වශයෙන් ලැබෙන තුරුම අපි පාවිච්චි කලේ  පොල් පිති වලින් තැනූ පිති තමයි.

අපේ සෙල්ලමේ හරි අපූරු දේවලුත් තිබුනා. ඒවා අපි විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. සාමාන්‍ය නීති අනුව නම් එක එක ඉනිමකදී පන්දුවට පහර දෙන්න ලැබෙන්නෙ එක අවස්ථාවයි. නමුත් අපේ සෙල්ලමේදී ඥාතී සහෝදරියන් දෙදෙනාට වැඩිපුර අවස්ථා දෙක බැගින් ලබා දෙනවා. ඒ සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න අවශ්‍යය නිසා. මමත් ඉතින් කොහොම හරි  වැඩිපුර අවස්ථාවක් ඉල්ල ගන්නවා. වැඩිමහල් ඥාති සහෝදරයන් දෙදෙනාට පමණක් අවස්ථා ලබා දුන්නෙ නෑ. ඊට අමතරව අල්ලපු වැටේ ඉඩමට මායිම්ව තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු කොටස තිබුනෙ. අපේ ඉඩමත් අල්ලපු වැටත් වෙන් කරල තිබුනෙ කම්බි වැටකින්. මේ කාරණාව නිසා අල්ලපු වත්තට බෝලය යන එක තමයි ලොකුම හිසරදය.  ඒක සීමා කරන්න අපි කලේ අල්ලපු වත්තට බෝලය ගියොත් අපි ඒක දැවී යාමක් ලෙස තමයි ගණන් ගන්න පුරුදු වෙලා හිටියෙ. බොහෝ වෙලාවට  ඥාති සහෝදරයන් දෙදෙනා පන්දු එවන්නෙ අල්ලපු වත්තට යන්න පෙළඹෙන ආකාරයේ පන්දු තමයි එව්වෙ. මේ උපක්‍රමයට ගොදුරු වෙලා මම දැවී ගිය වාර අනන්තයි. මමත් ඔය උපක්‍රමය අනුගමනය කරන්න හිතාගෙන පන්දු යවන්න උත්සහ කලා. ඒත් ඒකේ ප්‍රතිපලය වුනේ පන්දුව හතරේ සීමාවට එපිටින් වැටෙන එක තමයි.

ඊට අමතරව අපි කරපු තවත් සෙල්ලමක් වුනේ ගුටි පන්දු කෙළිය. ක්‍රිකට් ගැහුවෙ ටෙනිස් බෝල වලින් වුනත් මේ සෙල්ලම කරන්නෙ ප්ලාස්ටික් බෝලයකින්.ඒක නම් මම ඒ තරම් කැමති සෙල්ලමක් වුනේ නෑ. මොකද පන්දුව වැදුනම රිදෙන නිසා. අනිත් උදවියට රිදෙන්න පිට මැදටම බෝලයෙන් දමල ගහන්න මම කැමති වුනත් මට පාරවල් වදින කොට තමයි ඉවසන්න බැරි වුනේ. මේ නොඉවසිල්ල කොයි තරම් දරුණු වුනාද කියනවනම් එක වතාවක් ඥාති සහෝදරියකගෙන් මට වැදුණු බෝල පහරට මම උත්තර දුන්නෙ ඇගේ කම්මුල හරහ පාරක් දීලා. අන්තිමට ගුටි පන්දු කෙළිය ඉවර වුනේ තනිකරම ගුටි කෙළියකින්. ඇත්තටම කියනවනම් පුංචි අවධියෙ දි ක්‍රීඩාවේ ජය පරාජය විඳගන්න මම ඒ තරම්ම පුරුදු වෙලා හිටියෙ නෑ. හැබැයි පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන කාලවල දි ජය පරාජය සමසේ විඳ ගත යුතුයි කියන මූලික සිද්ධාන්තය හෙමිහිට ඉගෙන ගත්තා.

ඔය විදිහට ක්‍රීඩා කලේ මීට අවුරුදු දහයකට හෝ ඊට ඉස්සර කාලේ. ටිකෙන් ටික වයසින් වැඩීගෙන එනකොට මුලින්ම ක්‍රීඩාවෙන් ඉවත් වුනේ අපේ ඥාතී සහෝදරියන් දෙදෙනා. මුලින් ක්‍රීඩාවේ නිත්‍ය සාමාජිකයින් වුනත් ක්‍රම ක්‍රමයෙන් නරඹන්නන් බවට පමණක් ඔවුන් දෙදෙනා පත් වුනා. ඥාති සහෝදරයන් දෙදෙනා  නම් තව ටික කාලයක් මාත් එක්ක ක්‍රීඩා කලා වුනත් අන්තිමේදී ඔවුනුත් ගමේ අසල්වැසි තරුණයන් සමග ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඔයින් මෙයින් අපේ ක්‍රිකට් ගැහිල්ල අභාවයට ගියා. දැන් ඉතින් ඔවුන් සියලු දෙනාම විවාහ වෙලා දරු සුරතල් බලනවා. මෙදා පාර අවුරුද්දට මහ ගෙදරට ගියහම සිද්ධ වුනේ පුංචි එවුන්ගේ හුරතල් වැඩ බලන එක තමයි. කාලය ගෙවිල යන ඉක්මන ගැනත් , අපි වයසට යන බවත් සිහියට නැගෙන්නෙ ඔය සිදුවීම් යලි සිහි කරන කොට තමයි. ඒකෙත් එක්තරා අතකට හරි අපූරු ගතියක් තියෙනවා. මටත් ඔය සිදුවීම් අමතක වෙමින් වගේ තිබුනත් ඒ ගැන යලිත් ලියන්න හිතුනෙ අවුරුදු දවසෙදි අපේ නදික අයියා ඒ අතීතය මතක් කරපු නිසා.

අන්තිමේදි ඉතින් වෙනද ලියන සීමාවට “මගේ සටහන” එළඹුනා. හෙට ඉඳන් ආයෙමත් විශ්ව විද්‍යාලෙ පටන් ගන්නවා. ඒක හින්දමද මන්දා නොසන්සුන් තාවය වැඩියි වගේ දැනෙනවා. කොහොම වුනත් අන්තිම මාස කීපයේ වැඩ ටික කරදරයක් නැතුව ඉවර කරගෙන එළියට පා නගන බලා පොරොත්තුව ඇතුව “මගේ සටහනට” තිත තබනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

April 20, 2008

සීයා

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:05 pm

“මගේ සටහන” සටහන් විසි එකක් ලියවිලා ඉවරයි. මේ සටහන ලියන්න සූදානම් වෙන්නෙ ඉරිදා හැන්දෑවේ. අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ඉවර වුනේ ඊයේ රාත්‍රියේ. මොනව වුනත් වැඩේ සාර්ථකව ඉවර වුනා කියල හිතෙනවා. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරපු ආනන්දවර්ධන සොහොයුරාටත් ඊට පස්සෙ දිගටම ඒ හා රැදී සිටි මලින්ත , සුදාරක සහ ඉතා විශාල කාර්ය භාර්යක් ඉෂ්ඨ කල බුද්ධික සහ කාලිංග සොහොයුරන් හට ස්තූතිය පල කරන්න ඕනේ. ඒ වගේම අපේ ඔන්න මෙන්න  දොස්තර බෝ අක්කා සහ සූ අක්කා වත් මතක් කරන්න අවශ්‍යයි. ලක්මාල්, නිලක්ෂ, චාමර, බුද්ධික සිද්ධිසේන, ප්‍රසාද් දොස්තර මහත්තයා ඇතුලු නොයෙක් අයුරින් දායක වුන සියලුම දෙනා නිසා තමයි වැඩේ ගොඩ ගියෙ. සිංහල බ්ලොග් කරුවන්ගෙ වැඩක් වුනත් ප්‍රචාරනය සඳහා අපට සහය දුන්න දිලින වත් මතක් වෙනවා.  තාක්ෂණික පැත්තෙන් මේ ඉසව්ව සාර්ථක වුනේ බුද්ධික සහ කාලිංග සොහොයුරන් දෙදෙනා සහ මලින්ත මලය නිසා. තව විස්තර කියනවනම් දවස තිස්සෙ බ්ලොග් ලියපු මේ මැරතන් ඉසව්ව දුවපු සමනලී නංගි, රජිත් , අනුරාධ ඇතුලු නම් නොකියවුනු සියලු දෙනාමත් “මගේ සටහන” වෙනුවෙන් සිහිපත් කරනවා. මම හිතන්නෙ වැඩිම ඉහළක ඉඳල මේ ඉසවුවට සහභාගි වුනේ මම. ඊට හේතුව තමයි මම හිටියෙ කාලිංග සොහොයුරාගෙ කාර්යාලයෙ බුද්ධික සොහොයුරාත් සමගින් වීම. ඒ කාර්යාලය තිබුනෙ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙ විසි අටවන තට්ටුවෙ. ඒකත් බොහොම අපූරු අත්දැකීමක්.මේ දවස් ටිකේම සිංහල බ්ලොග් කියවීම නිසා කට්ටියට එපා වෙලාද දන්නෙ නෑ කියල හිතුනා වුනත් සුපුරුදු පරිදි මේ සතියෙ “මගේ සටහන” ලිවීම පටන් ගන්නවා. මේ සතියෙ ලිවීමේ රටාව ටිකක් වෙනස් නිසා තවත් එපා වෙලාම යයිද දන්නෙ නෑ. අවුරුද්ද හා බැදුණු මතක සටහන් නැවත හාරවුස්සන ගමන්  “මගේ සටහන” විසි දෙවන සටහන මෙතැන් සිට.

අවුරුද්ද හා බැඳුණු මගේ මතකයන් විවිධාකාරය. සමහර සිදුවීම් අවුරුදු සිරිත් විරිත් හා සබැඳී ඒවා නොව වේදානබර මතකයන් වෙයි. ඉන් එකක් නම් අපේ සීයා පිළිබඳව මතකයයි. ඊට හේතුව වුයේ සීයා මිය ගියේ අප්‍රේල් මාසයේ දහතුන් වැනි දා වක හෙවත් පරණ අවුරුද්ද දවසක වීමයි. මගේ මතකයේ හැටියට මම එවිට හිටියේ එකේ පන්තියේ විය යුතුය. මා උපදින විට අපේ අම්මාගේ තාත්තා ජීවතුන් අතර සිටියේ නැත. ජීවත්ව උන්නේ අපේ අම්මාගේ මව පමණි. කෙසේ නමුදු තාත්තාගේ  දෙමවුපියන් දෙපල හෙවත් සීයා ගේ සහ ආච්චි ගේ ආදරණය රැකවරණය ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. සීයා ජිවත්ව සිටි කාලයේ මට දැක්වූයේ ඉමහත් ආදරයකි. ආච්චී ත් එසේමය. උන්දෑට මම ඇමතුවේ “හොරපේ ආච්චි” යන නමිනි. ඊට හෙතුව වූවේ ආච්චි සහ සීයාගේ නිත්‍ය වාසස්තානය වූවේ හොරපේ පිහිටි ඔවුනගේ දියණිය ගේ ගෙදර වීම නිසාය. ආච්චීට අපි හොරපේ ආච්චි කියා ආමන්ත්‍රණය කලත් ඔවුන් දෙපලම අපේ තාතතා ජීවත්ව සිටියදී බොහෝ කලක් අපේ නිවසේ වාසය කලෝය. ඒ කාලයේ අප පදිංචිව උන්නේ දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේය. තාත්තා ඒ දිනවල ඉගැන්වූයේ දෙල්ගොඩ පිරිවනෙහි වීම ඊට මූලිකම හේතුවයි. තාත්තා මිය යාමෙන් පසුවත් ආච්චි අපේ ළඟ සැලකිය යුතු කාලයක් නැවතී උන්නේ මට තිබු ඉමහත් ආදරය නිසාවෙනි.

සීයා අපේ ගෙදර සිටි අවධියේ මම පෙර පාසල් යන ශිෂ්‍යයකු වීමි. මගේ පෙර පාසල් අධ්‍යාපනය කොහොමටත් අවිධිමත් එකකි.  මුලන්ම අපේ තාත්තා මාව දෙල්ගොඩ පිරිවන අසල පෙර පාසලකට මා ඇතුලත් කලේය. මොකක් හෝ හේතුවක් නිසාවෙන් මම ඒ පෙර පාසලට ගියේ මාස දෙකක පමණ කාලයකි. ඉන් පසු මාස හයක් පමණ යන තෙක් නිවසට වී කෙළි සෙල්ලමින් කල් යැවූ මා , අපේ අම්මාගේ බලවත් උන්නදුව නිසා අප පදිංචිව උන් නිවස අසල ළදරු පාසලට ඇතුලත් කිරීමට තාත්තා කටයුතු කලේය. අපේ ගෙදරට අල්ලපු වැටේ වූයේ වැඩිහිටි නිවාසයකි. ඊට එහා වත්ත වූයේ ළදරු පාසලයි. මම ඒ ළදරු පාසලට ගිය මාස තුනක පමණ කාලයේ සැමදාම උදෑසන මා කැඳවා ගෙන ගියේ හොරපේ ආච්චි ය. නැවත උදැසන දහයයි තිහට පෙර පාසල නිමාවූ විට මම තනියම නිවස බලා එමි. ආපසු එනවිට තනියම පැමිණියත් උදෑසන යනවිට ආච්චි නොමැතිව යාමට මම කිසිදා කැමති නොවූයෙමි. මේ බැඳීම කොතරම්ද කියතොත් මම මුල්ම දවසේ පටන් පාසල් ආවේ ගියෙත් හොරපේ ආච්චි සමගයි.

සීයා නැවත කතන්දරයට සම්බන්ධ වන්නේ මෙන්න මේ අයුරිනි. සාමාන්‍යයෙන්  උදැසන දහයයි තිහ යනු සීයා තේ පානය කරන වෙලාවයි. මම ඒ වෙලාව වන විට නැවත ගෙදර එන බව දන්නා සීයා මා වෙනුවෙන් කිඹුලා බනිසයක් ගෙනවිත් තබයි. පෙර පාසලේ අවසාන ක්‍රියාව ලෙස අපට තිබුනේ ඉලක්කම් ලිවීමයි. ඉක්මනින්ම ඉලක්කම් ලියා අවසාන වුවහොත් අපට ගෙදර යෑමේ අවසරය ගුරුතුමිය ලබා දෙයි. සීයා මා වෙනුවෙන් ගෙනවිත් තබන කිඹුලා බනිසය සිහිවීමෙන් කලබලයට පත් වන මම හැකි ඉක්මනින් ඉලක්කම් ලියා අවසාන කොට ගෙදර බලා දුව එමි. ඒ නිසා හැමදාම ගුරුතුමිය නියම කරන ඉලක්කම් ලියා නිම කරන ප්‍රථමයා වීමට මම සමත් වුනෙමි. මගේ පියා ගුරුවරයකු වූ බැවින් ඉලක්කම් ලිවීමේ දී මා දක්ෂයෙකැයි ඈ සිතා ගන්නට ඇති වුවද සැබෑ රහස තිබුනේ සීයා ගෙනවිත් තබන කිඹුලා බනිසයේ බව ඈ දැන නොසිටි බව මට උදක්ම ස්ථිරය.

ඉතින් පොත් බෑගයත් රැගෙන ප්‍රීතියෙන් දුව එන මා අනතුරු සහිතව එන්නේ දැයි සැක හැර දැන ගැනීමට ආච්චී පාර අද්දරට වී බලා සිටී. නිවසට ආ විගස ඇගේ අතට පොත් බෑගය දී මම සීයා වෙතට දිව යමි. සීයා ද ඉමහත් ආදරයෙන් මා පිළිගෙන කිඹුලා බනිසය මට පිළිගන්වයි. සීයාගේ තිළිණයෙන් උදම්වන මා එය ගිල දමන අයුරු උතුරා යන සෙනෙහසින් යුතුව සීයා සහ ආච්චී දෙපලම බලා සිටි ආකාරය සිහිවන විට, අහිමි වූ ළමා වියේ සුන්දරත්වය ගැන සියුම් ශෝකයකින් මා හදවත පෙලන්නට පටන් ගනී. කිඹුලා බනිසය ගිල දමන මම සීයා සමගම තේ පානයෙන් අනතුරුව සෙල්ලමට දිව යමි. නැවත දහවලට ස්නානය කරනු පිණිස සීයා මා කැඳවයි. පුංචි සන්ධියේ පටන්ම නෑමට මම ප්‍රිය වූ නිසා ඒ ගැන නම් සීයාට වද වීමට දෙයක් නොතිබුනේ මම බොහෝ කීකරුව සීයා මා නහවා අහවර කරන තෙක් උන් බැවිනි.  තාත්තා පාසලේ වැඩ කටයුතු නිමව ඒමට හවස් වන අතර අම්මා කොළඹ සිට රැකියාව නිමවා පැමිණඑන විට මදක් රෑ බෝවන බැවිනුත් මගේ ළමාවිය ගෙවුනේඔය අයුරින් ආච්චී සහ සීයා සමගිනි.

කෙසේ වතදු මට බොහො ආදරයෙන් සිටි සීයා හදිසියේම මිය ගියේ මොළයේ නහරයක් පුපුරා යාම නිසාය. දහතුන් වැනි දා උදයේ හදිසියේ අසනීප වූ සීයාව විගස රෝහලට රැගෙන යාමට තාත්තා කටයුතු කල නමුත් එදින දහවල වන විට සීයා මිය ගිය පුවත නිවසට ලැබුනි. ඒ වන විට මම බත් කමින් උන්නෙමි. ඒ අසා ඉමහත් කම්පනයට පත්වූ අම්මා මා කැටුව හොරපේ ගෙදරට ගියාය. සීයාට සිදුවූයේ කුමක්දැයි ඒ වයසේ දී හරියටම අවබෝධ කර ගැනීමට මට නොහැකි වුවත් පසු කාලීනව තමුන් ආදරය කල කෙනෙකුගේ මිය යාම  කොතරම් කටුකදැයි මම අත් වින්දෙමි. සීයාගේ නිසල දේහය හොරපේ නිවසට ගෙන ආ විට සිය පියා අහිමි වීමේ ශෝකයෙන් තාත්තා වැලපෙන අයුරු වික්ෂිප්තව බලා උන් මම ඊට වසර පහකට පමණ පසුව ඒ අත්දැකීමට මුහුණ පෑවෙමි.

අවුරුද්ද හා බැදුනු සිදුවීම් මගේ මතකයට නැගෙන්නේ ඔය ආකාරයටය. දැන් සීයා මිය ගොස් අවුරුදු විස්සකට ආසන්න ප්‍රමාණයක් ගතවී ඇතත් ඒ හා බැඳුනු අතීතයේ මිහිරියාව තවමත් සිහි වෙයි. ආච්චී මියගියේ තාත්තා මියගොස් අවුරුදු දෙකකට පමණ පසුවය. ජිවත්ව සිටින කාලය තුල ආච්චී සහ සීයා ගෙන් ලැබුනු ආදර සැලකිලි නිසා මම සේස්සන් හට දයාවෙන් කරුණාවෙන් සැලකීමට උගත්තෙමි. මිනිසකුගේ ළමා කාලය තුල මානව ගුණාංග හැඩ ගැස්සවීමේ ලා වැඩිහිටියන් සතු යුතුකම අති මහත් වෙයි. ඒ යුතුකම නොපැකිලිව ඉටු කල අපේ ආච්චී සහ සීයා ට උපහාර “මගේ සටහන” වෙතින් පුදකරන අතරම උදාවූ අවුරුද්දේ නොසිතූ ලෙස සමුගත් “යසරුවන් ගුණතිලක” සොහොයුරාට නිවන් සුව පතමින් නැවතීමේ තිත තබමි. ලබන සතියේ හමුවන තෙක් ආයූබෝවන්.

April 17, 2008

යසරුවන් ගුණතිලක

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 2:20 pm

අද හවස් වරුවෙ කියවන්ට ලැබුනු පුවතකින් එකවරම කම්පනයට පත්වුනා. ඒ තමයි “යසරුවන් ගුණතිලක” කියන තරුණයාගේ මරණය පිළිබඳ ආරංචිය.

“යසරුවන් ගුණතිලක” පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන් වන වසරේ අධ්‍යපනය ලබමින් සිටි ශිෂ්‍යයෙක්. අවුරුද්දට ගෙදර ගිය විට අත්වැල්තොට නැමති දිය ඇල්ලේ නෑමට ගොස් දියේ ගසාගෙන යාම නිසා තමයි ඔහු මිය ගොස් තියෙන්නෙ. “යසරුවන් ගුණතිලක” මම දැනගත්තෙ බ්ලොග් කරුවෙක් විදිහට. මුලින්ම ඉංග්‍රීසි බසින් බ්ලොග් කරණයේ යෙදුන “යසරුවන් ගුණතිලක”  පස්සෙ සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන අසා දැනුවත් වී බොහොම උද්යෝගයෙන් යුතුව ඒ ඉසව්වට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් හිටියා. ඇත්තටම කියනවනම් මගේ බ්ලොග් අඩවියට එකතු වුන අවසාන ප්‍රතිචාරය දක්වල තිබුනේ යසරුවන්. ඒ මෙන්න මේ ආකාරයෙන්.

“මම පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්නෙ. මම දන්න විදියට නම් හොල්මන් අවතාර භීතියක් ඇති වුනේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ (හිල්ඩා කුමාරිගෙ අවතාරෙ). ඊට පස්සෙ ඒකෙ ගැහැණු ළමයි විජේවර්ධන ශාලාවටත්, ජේම්ස් පීරිස් ශාලාවටත් දාලා විජේවර්ධන එකේ හිටපු පිරිමි ළමයි හිල්ඩා එකට දැම්මා.

ඔයාගෙ බ්ලොග් එක නම් එලකිරි. මමත් දැන් අවුරුද්දක විතර ඉදන් බ්ලොග් ලිව්වත් තාම සිංහලෙන් මොකුත් ලියන්න බැරි වුනා. හෙට අනිද්දාම සිංහලෙන් මොනවා හරි ලියනවා, ලියනවාමයි.

ආයෙත් පේරාදෙණිය පැත්තෙ එනවනම් අපිටත් කියලා එන්න.

Comment by යසරුවන් — April 14, 2008 @ 1:56 am “

අපි කාටවත් හිතා ගන්න බැරි පුවතක් වුන යසරුවන් ගේ මරණය ගැන සටහනක් ලියන්නට සිදුවීම පවා වේදනාබර කටයුත්තක්. මැරතන් වැඩ කටයුතු නිමා වුනාට පස්සෙ යසරුවන් ට පෞද්ගලිකව අමතල පේරාදෙණිය පැත්තෙ යන්න පුලුවන් වෙයි කියල මම හිතාගෙන හිටියෙ. ඔහු සිංහල බසින් මැරතන් ඉසව්වට සහභාගි වන බව ඔහුගේ බ්ලොග් අඩවියේ සඳහන් කර තිබුනු බව දුටු විට මම පහත ප්‍රතිචාරය ඔහුට එකතු කලා.


“නිදහස said: On 04/14/2008 at 10:19 pm

ලියමු ලියමු . පේරා වල අත්දැකීම් ඇතිනෙ ඕන තරම් :)

අප අතරින් අකාලයේ සමුගත් “යසරුවන් ගුණතිලක”  වෙනුවෙන් “මගේ සටහන” වෙතින් සහ පොදුවේ අපේ බ්ලොග්කරුවන් වෙනුවෙනුත් විශ්ව විදයාල ශිෂයයෙක් හැටියටත් ශෝකය පල කර සිටිනවා.

“යසරුවන් ඔබට නිවන් සුව අත්වේවා”

April 13, 2008

අවුරුද්ද

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:39 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි එක්වන සටහන. “මගේ සටහන” ලියන එක ආරම්භ කලේ අපේ ආයතනික පුහුණුව පටන් ගත්ත දින වලම වගේ තමයි. දන්නෙම නැතුව කාලය ගෙවිල්ලා ගිහින් ගිය සතියෙ ආයතනික පුහුණු කාල සීමාව අවසාන වුනා. ඒ කාලය තුල අධ්‍යාපනය පැත්තෙන් වගේම වෙනත් දේවල් ගොඩකුත් ඉගෙන ගන්නට අවස්ථාව ලැබුන එක ගැන සතුටුයි. ගිය සතියෙ “මගේ සටහන” ට තවත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඊට අමතරව මෙතෙක් කල් ප්‍රතිචාර පල නොකරුවත් “මගේ සටහන” කියවපු බව සඳහන් කරල තිබුන අයට තුති පුද කරනවා. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ “මගේ සටහන” ලිව්වෙ මදක් අඩුවෙන්. ඒකට ප්‍රධාන හේතුව වුනේ කලබලයෙන් සහ එතරම් උද්යෝගයකින් යුතුව ලිව්වෙ නැති කම. මැරතන් දිනයත් ළඟ ළඟම එන නිසා මේ සතියෙ නිසියාකාරව ලියන්න තමයි බලාපොරොත්තුව. මුලින්ම මං ගිය සතියෙ කියපු “මැරතන් කරූ” ගැන මට අහන්න ලැබුනු කතන්දර කිහිපයක් හා ඔහුගේ ජීවන තොරතුරු කිහිපයක් සටහන් කරන්න හිතුනා. ඒක ඒ අහිංසක මිනිසාට කරන ගෞරවයක් වෙයි කියල හිතෙනවා. ලංකාව පුරා “මැරතන් කරූ” යන නමින් ප්‍රචලිත වුන කේ.ඒ.කරුණාරත්න මහතාව අපේ ගම් වාසීන් හැඳින්වූයේ “ශාන්ත” යන නමින්.ඒක තමයි ගමේ මිනිස්සු ඔහුට ආමන්ත්‍රණය කරන නම.

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඇති දැඩි වුන “කරූ” පසු කාලයයේ දී පවා තමන්ගෙ තාත්තා ලී ඉරන රස්සාව කල බවත් අම්මා බොහොම දුක් මහන්සි වී තමන් හැදු වැඩු බවත් කියන්න පැකිලුනේ නැහැ. ඉහළ තැන්වලට ගියාට පස්සේ තමන්ගේ දෙමව්පියන් තම තත්වයට මදිකමක් කියල හිතන අපේ නූතන පන්තියේ දුවා දරුවන්ට ඔහු ගේ හැසිරීමෙන් ගත යුතු දෑ බොහොමයි. කොහොමහරි දෙල්ගොඩ කළ්‍යාණ ප්‍රදීප පිරිවෙනෙ හි ඉගෙනුම ලබන කාලයේ තමයි ඔහු ඔය දිවීමේ තරඟ වලට සහභාගි වෙන්න පටන් ගෙන තියෙන්නෙ. ඔන්න ඉතින් දවසක් “කරූ” මේ වගේ ගම හරහා දිවීමේ තරඟයකට මුල්ම වතාවට සහභාගි වෙලා. තරඟය පටන් අරගෙන ටික වෙලාවක් යන කොට අනෙත් තරඟ කරුවො සියල්ලම ඔහුව පසු කරගෙන හැල්මේ දුවගෙන ගිහින්. ඉතින් මේ වෙලාවෙ තරඟයෙ අන්තිමයා විදිහට දුවගෙන යන “කරූ” දැකපු මග දෙපස තරඟය නරඹමින් හිටිය අය ඔහුට සරදම් කරන්නත් අරගෙන . නමුත් ඒ කිසිවක් ගණනකට නොගෙන තමන්ගේ වේගයෙන් දිවපු “කරූ” අන්තිමේදි පළමු වෙනියා හැටියට තරඟය නිමා කරල තියෙන්නෙ මුලින්ම තමන් පසු කරල හැල්මේ දුවපු ක්‍රීඩකයන් අතරමග නවතිද්දී යි. එදා පටන් තමයි ඔහු දිගින් දිගටම මෙවැනි දිගු දුර තරඟ වලට සහභාගි වෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

සාමාන්‍යයෙන් මේ වගේ ගම හරහා දුවන තරඟ වලට තමන්ගෙ මිත්‍රයෙක් සහභාගි වන විට ඔහුව දිරිමත් කරන්න බයිසිකල් වල නැගී පසු පස යාම තරුණයන්ගේ සිරිතක්. දුවන්නෙ එක් කෙනෙක් පමණක් වුනාට ආධාරකරුවො පහක් විතර පස්සෙන් යනවා. කොහොමහරි “කරූ” හෙවත් “ශාන්ත” හදිස්සියෙම මිය ගිය වෙලාවෙ තරුණ සන්ධියෙ දී “ශාන්ත” පසු පස දිරිගන්වමින් ගිය අතීතය අපේ මාමා සිහිපත් කලා. ඔහුගේ සම වයසේ මිත්‍රයකු සහ ඒ කාලයේ පටන් දිරි ගැන්වීම උදෙසා පසු පසින් ගිය “ශාන්ත” ගේ මිය යාම ඔහුට ලොකු සිත් වේදනාවක් ඇති කලා. මුල් කාලයේ ගම හරහා දිවීමේ තරඟ වලදි අනේත් ක්‍රීඩකයින් “ශාන්ත” පසුකර ඉදිරියට යන විට “ශාන්ත අරූ ලඟ යන්නෙ . අල්ලපං , අල්ලපං” යනුනමෙන් කෑ මොර දෙමින් දිරිමත් කිරීමේ යෙදුනු ආකාරය ඔහු ආවර්ජනය කලා.

ඔයින් මෙයින් අපේ ගම් පළාත ඇතුලු ප්‍රදේශ වල ජය කෙහෙළි නැංවූ “කරූ” ජාතික තලයේ ක්‍රීඩකයෙක් බවට පත් වුනා. මේ සියලුම දේවල් වල උපරිම අවස්ථාව වුනේ එක් දහස් නවසිය අනූ එකේ අවුරුද්දේ දකුණු ආසියාතික ක්‍රීඩා තරඟාවලිය. ලංකාවේ පැවැත්තවුන එම ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව පැවැත්වුනේ මීගමූව මාර්ගය දිගේ ජා- ඇළ දඬුගම තෙක් පැමිණ නැවත ආපසු හැරී යාමට සිදුවන ලෙසයි. එදා උදේ අපේ මාමත් බොහොම උනන්දුවෙන් තමන්ගේ මිත්‍රයා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වදින ආකාරය බලන්න හිතාගෙන මීගමුව පාරේ මහබාගෙ හන්දියට ගිහින්. මුලින්ම මැරතන් තරඟය මහබාගෙහන්දියට ළඟා වෙන කොට “කරූ” හා සම සමව නේපාල ජාතිකයන් දෙදෙනෙක් දුවනමින් ඉඳල. ඔවුන් “කරූ” ට වඩා බොහොම උස මහත ක්‍රීඩකයින්. කරට කර තරඟය යන නිසා ආපසු හැරිල එන්නෙ නැතිව දඬුගමි න් තරඟය නැවත හරවා මහබාගෙ හන්දියට තරඟකරුවන් පැමිණෙන තෙක් මාමත් නැවතිලා ඉඳල. අවසානයේදි මහබාගෙ හන්දියට නැවත තරඟය එන විට අර හැඩි දැඩි නේපාල තරඟකරුවන් දෙදෙනාට වඩා බොහෝ ඉදිරියෙන් සිටි “කරූ” ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා දුන්නා.

මිය යාමට කලින් සතියේ “ලක්බිම” පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්න “කරූ” තමන් සංවිධානය කල, තමාටම මරු කැදවූ වැලිවේරියේ මැරතන් තරඟය ගැන විස්තර ලබා දී තිබුනා. එහිදී “කරූ” කියල තිබුනේ කවදා හෝ ඔලිම්පික් පදක්කමක් ගන්න කොල්ලෙක් ලංකාවෙන් හදන්න අවශ්‍යය යි කියන කාරණාව. තමන් දුවන කොට ” කමෝන් කරූ” කියමින් පාරෙ බස් වල ගිය ජනතාව පවා තමා දිරිමත් කල බවත් , ඒ දිරි හැන්වීම අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ලබා දෙන ලෙසත් මේ අව්‍යාජ්‍ය මිනිසා ඉල්ලා තිබුනා. ඉහළ නිල තනතුරු ඔහු දැරුවා වුනත් මං දන්න තරමින් මිය යන තෙක් ඒ පදවි තානාන්තර ගැන ගොඩක් දෙනා දැනගෙන හිටියෙ නැහැ . ඒකට මූලික හේතුව වුනේ නම්බු නාම වලින් ඔලුව ඉදිමෙන ගතිය මේ මිනිසා තුල නොතිබුන එක. නැවත වතාවක් “මැරතන් කරූ” හෙවත් අපේ ගමේ හිතවතුන් අතර “ශාන්ත” නමින් ආදරයට හා ගෞරවයට පාත්‍ර වුනු කේ.ඒ. කරුණාරත්න මහතාට “මගේ සටහන” හි ආචාර උත්තමාචාර පිරි නමනවා.

ආයෙමත් සුපුරුදු ජීවන තොරතුරු දිහාවට හැරෙන්නයි කල්පනාව. ආයතනික පුහුණුව ඉවර වෙලා විශ්ව විද්‍යාලෙ ආපසු ආරම්භ කරන තෙක් පොඩි නිවාඩුවක් ලැබිල තියෙන්නෙ මේ දවස්සවල. විශ්ව විද්‍යාලෙ පැත්තෙ ගියත් එක දවසක වෙනද වගේ අපේ බැචාලා මුණ ගැහුනෙ නෑ. සමහරු ගම් පලාත් වල ගිහිල්ලා පැදුරටත් නොකියම වගේ. තවත් සමහරු දුක සේ තවම ආයතනික පුහුණුව ලබන ආයතනයේ වැඩ රාජකාරි කරනවා. අපිට පුහුණු කාලසීමාව නියමිත ප්‍රමාණය සති විසි හතරක් වුනාට අමහර ආයතන වල මාස හයක් වැඩ කරන්න සිද්ධ වෙලා. ඒ කියන්නෙ සති විසි හයක් වගේ ප්‍රමාණයක්. වැඩේ දුකයි වුනත් කරන්න දේකුත් නැහැ. මම හිතන්නෙ රුසියාවෙත් ඔහොම වෙන්න ඇති.

මම නම් ගෙදරට වෙලා ඔහේ අන්තර්ජාලයෙ සැරි සරන ගමන් , පොතක් පතක් පතක් කියවගෙන චිත්‍රපටියක් කාරිය බලාගෙන කරගෙන ඉන්නවා. මැක්සිම් ගෝර්කි ගේ “මගේ සරසවි” කියවමින් ඉන්නෙ මේ දවස්වල. අන්තර්ජාලය ගැන නම් කියල වැඩක් නැහැ. ඒ ගැන ලියන්න වචන නාස්ති කරන එකයි මතක් වෙනකොට ලේ පිච්චෙන එකයි අපරාදෙ නිසා නොලියා ඉන්නවා. කොහොමටත් මගෙ ඇඟේ තියෙන ලේ ටික මදි නිසා තියෙන ටිකත් පුච්චගත්තොත් ලොකු අකරතැබ්බයක් වෙන්න ඉඩ තියෙනවා. ශරීර සෞඛ්‍යයය ට අහිතකර දේවල් කරන්න එපයි කියල උපදෙස් ලැබිල තියෙන්නෙ මට. චිත්‍රපටි බැලීම නම් ඉඩ කඩ ලැබුන නිසා ආයෙ පටන් ගත්තා. හැබැයි මගේ ළඟ තියෙන ගබඩා ධාරිතාවය අඩු නිසා ඉක්මටම මූලාශ්‍ර හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

අලුත් අවරුද්ද අත ලඟටම ආවත් ඒ තරම්ම අමුත්තක් දැනුනෙත් නෑ. ටික කාලයක් යන කොට නිවාඩු පාඩුවෙ ඉන්න එකේ ආශ්වාදය ඇරෙන්න පුංචි කාලේ හිතට දැනුනු සතුට එන්නෙ නෑ. හේතුව මොකක් වුනත් අවුරුදු එළඹීම බාර ගත්තෙ බොහොම උදාසීන හැඟීමකින්. සිරිතක් හැටියට මම ඔය රතිඤ්ඤා පත්තු කරන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳලම විශාල සද්ද වලට තිගැස්සෙන ගතියක් තියෙන නිසාවෙන් දෝ රතිඤ්ඤා පත්තු කිරීම මට නම් කිසි සේත්ම ආස හිතෙන වැඩක් නොවෙයි.

ඔන්න ඉතින් “මගේ සටහන” විසි එක්වන දිග හැරුම ඉරිදා හැන්දෑවේ ලියල ඉවර කලා. මේ සිකුරාදා මැරතන් ඉසව්වට “මගේ සටහන” ඉදිරිපත් වෙන්නෙ නෑ. ඇත්තටම කියනවනම් “අදහස් අවකාශය” කියන බ්ලොග් අඩවිය ඔස්සේ ලියන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. “මගේ සටහන” මූලිකවම තීරු ලිපියක් නිසා එක දිගට සටහන් අනූ හයක් පල කිරීම අසීරුයි. ඒක නිසාම වගේ වෙනස් ආකාරයේ සටහන් කිහිපයක් සමග මැරතන් ඉසව්වට මම කියපු බ්ලොග් අඩවියෙන් සහභාගි වෙනවා. එහෙමනම් අලුත් අවුරුද්ද සමරන “මගේ සටහන” පාඨකයන් ඇතුලු සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් මේ සතියේ සටහන නිමා කරනවා. ලබන සතියේ හමුවෙමු.

April 7, 2008

මැරතන් කරූ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 12:15 am

“මගේ සටහන” ලියවෙන්නෙ මේ විසි වෙනි සටහන. ගිය සතියෙ සටහනට වෙනදට වඩා ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුනා. කොහොම නමුත් විසිවන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

“මගේ සටහන” වෙනදට ලියවෙන්නෙ ඉරිදා හවස් වරුවෙ වුනත් රෑ බෝ වන තුරු වැඩේ කල් ගියා. ඊට ප්‍රධාන හේතුව වුනේ අද දවස තුල අසන්නට වුනු ඛේදජනක සිදුවීම් නිසා. අද උදයේ සිදුවුන බෝම්බ පිපිරීම නිසා සිවිල් වැසියන් ගණනනාවක් මිය ගියා. ඒ අතර අපේ ගම් ප්‍රදේශයේ වාසය කල කේ.ඒ . කරුණාරත්තන මහතා ද වුනා. මැරතන් ක්‍රීඩාව හා බැඳුනු නමක් වුන කරුණාරත්න බොහොම නිහතමානී මනුස්සයෙක්. දෙල්ගොඩ පිරිවෙනෙ හි අධ්‍යාපනය ලබන කාලයේ ඔහු අපේ තාත්තා ගේ ගෝලයකු වුනා. තාත්තා ගේ අවමගංගල සභාවේ ඔහු කතාවක් පැවැත්වූ බව පුංචි අවධියේ වුනත් මගේ සිතේ රැඳී තිබුනා. “මැරතන් කරූ” යන නමින් ලංකාව පුරා පතල වුනු ඔහු හැම දෙනාගේම සිත් දිනාගත්ත මිනිසෙක්.

එක්දහස් නවසිය අනූ එකේ අවුරුද්දේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙ දී ඔහු මැරතන් ඉසව්වවේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා නාමය ඉහළින් රඳවමින්. ඇත්තටම මේ සිදුෟවීම නිසා අපේ ගම් ප්‍රදේශයම කම්පාවට පත්වුනා. දේශපාලනික වශයෙන් ඉදිරියට නොගොස් ම්ලේච්ඡත්වයට මුල් තැන දුන් ත්‍රස්තවාදීන් හමුවේ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොතැනටදැයි සිතා ගැනීමටත් බැහැ. ඇත්තටම ඔය සිදුවීම් නිසා “මගේ සටහන” ලියන එක පවා ඕනැවට එපාවට වගේ පටන් ගත්තෙ.

මේ සති අන්තයත් ගෙවිල ගියා. සෙනසුරාදා දවස ගෙවිල ගියේ නුවර නගරයේදි. සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන දැනුවත් කිරීමට හා ප්‍රචාරය කිරීමේ අරමුණු ඇතිව සංවිදානය කල වැඩ සටහනකට සහභාගි වෙන්න තමයි නුවර ගියේ. මෙතෙක් කලක් අන්තර්ජාලය හරහා පමණක් මුණ ගැසී තිබුනු ආනන්ද වර්ධන , බුද්ධික, කාලිංග සහ මීට කලින් වතාවක මුණ ගැසුනු මලින්ත මලයත් හමු වුනා සෙනසුරාදා දවසෙ. අපි එදින කලේ නුවර නගරයේ තෝරා ගත් ස්ථාන වල දී මැරතන් ඉසව්ව ගැන ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා සහ ස්ටිකර් බෙදා දීම. අපේ උත්සහය ඒ තරම්ම අපේ ගියෙත් නැහැ. යම් තරමක සාර්ථකයත්වයක් ලබා ගන්න පුලුවන් වුනා. ඒ අතරෙ දළදා මාලිගාව දිහා හැරිලවත් බැලුවෙ නැති  වුනත්, බුද්ධික සහෝදරය මල් ලක්ෂයයක් පූජා කිරීමේ පින් කමකට සහභාගි වෙනවාදැයි අපට සැක හිතෙන තරමට දවස පුරාම මල් කැඩීමේ නිරත වුනා. ඇත්තටම ඒක දැකල බැති බර වුන අපේ මලින්ත මලයගෙන් ඉබේම සාදුකාර පිටවුනා.

මලින්ත මලය නුවර දි කරපු කියපු කතා මෙහි පල කරන්න එපයි කියල කියපු නිසා ඒ ගැන කියන්නෙ නෑ. සමේ පැහැපත් භාවයට හානි සිදුවෙයි කියල කාලීංග නම්  අව්වේ ඇවිද යාම ගැන දැඩි විරෝධය පල කලා. ඔය අතරෙ ආනන්ද වර්ධන ත් බොහොම උන්නදුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වුනා. අන්තිමේදි සිැයලු වැඩ කටයුතු නිමා කරල සෙනසුරාදා හවස් වරුවෙම ගෙදර බලා එන්න පිටත් වුනා. නුවර ගිය වෙලාවට මම කවදත් යන්න ආස කරන පේරාදෙණිය සරසවිය ට නම් මේ වතාවෙ යන්න අවස්ථාව නොලැබීම නිසා පොඩි දුකකුත් ඇති වුනා.

නුවර නගරය නම් බොහොම රස්නෙයි මේ දවස්වල. මේ දවස් වල දවල් වරුවට වැඩිය එළියට බැහැල ඇවිදින්නෙ නැති නිසා දෝ බොහොම වෙහෙසක් දැනුනා අපිට. ඒ මදිවට කාලෙකින් සැලකිය යුතු දුරක් ඇවිදීම ත් හොඳ ව්‍යායාමයක් වගේ වුනා. මොනව වුනත් නුවර නගරයේ ගැවසෙන ජනකායට ප්‍රමාණවත් තරමින් නගරය විශාල නොමැති කමින් මට නම් ඇතිවුනේ බොහොම අපහසුතාවයක්. නගරයයේ ඒ තියෙන අපිළිවෙල ගතිය නිසාවෙන් දෝ මට නම් නොසතුටක් දැනුනා.

නිමා වන සතියෙ සිකුරාදා අපේ “ආයතනික පුහුණුව” නිමා වුනා. සති විසි හතරක කාලය ගෙවිලා ගියේ අපටත් තේරෙන්නෙ නැතිවම වගේ. ඒ කාලය තුල තමයි “මගේ සටහන” ලියන එක ආරම්භ කලේ . සැලකිය යුතු තාක්ෂණික දැනුමක් ලබා ගත්තා වගේම පරිබාහිර කටයුතු වලටත් දායක වුනා මේ සති විසි හතර තුල, විශ්ව විද්‍යායලට වඩා එක්තරා අතකට සැහැල්ලු වාතාවරණයක ඉන්නට ලැබීම එක අතකට ශරීර සෞඛ්‍යයට නම් හොඳ දෙයක් වුනා. ආයෙමත් තව සති දෙක තුනකින් විශ්ව විද්‍යාලෙ යන්න වෙනව.

අන්තිම සතියෙදි නම් තදින් වැඩත් යෙදී තිබුනා. ඒ හේතුව නිසාම මගේ චිත්‍රපටි බැලීමේ විනෝදාංශය කරන්නත් බැරි වුනා. අවුරදු කාලය තුල බලන්න චිත්‍රපට සූදානම් කරගෙන තියෙන්නෙ. විවේකයක් ලැබෙන තුරු තමා දැන් බලාගෙන ඉන්නෙ. ගිය සතියෙ දවසක ගිහින් කාලෙකට පස්සෙ කියවන්න පොත් පත් කිහිපයකුත් ගත්තා. ඒ අතරින් Jerome K. Jerome කියන ලේඛකයගෙ Three men in the boat කියන පොතේ සිංහල පරිවර්තනයත් ගත්තා. එය පරිවර්තනය කරල තිබුනෙ “තේම්ස් නදියෙ සවාරියක්” යන නමින් ජනක මහබෙල්ලන  නම් ලේඛකයා එය සිංහලයට නගා තිබුනා. ඒ පොත කියවීමෙන් නම් ඉළ ඇට ඇදෙන කම් හිනා වුනා.

සාමාන්‍යයෙන් මම පොතක් කියවන විට මහ හඬින් සිනා සෙමින් උපරිම ලෙස රස විඳිනවා. සිනා සෙන්න අවස්ථාවක්  ලැබුන විට සිත් සේ සිනා සිය යුතුයි. ඒ හේතුව නිසා පිටස්තර කෙනෙක් මම පොත් කියවන ආකාරය බලාගෙන ඉන්න කෙනෙක් “මේ යෝධය ට පිස්සු ද මන්ද?” කියල හිතන්නත් ඉඩ තියෙනව . ඔන්න ඔහොමයි මම පොත් කියවන්නෙ. එහෙමනම් මේ සතියෙ “මගේ සටහන” නිමා කරන්නයි සුඋදානම. වෙනද ලියන ප්‍රමාණයට සාපේක්ෂව බොහොම අඩුවෙන් තමයි ලියවුනෙ. ලබන සතියෙ සුපුරුදු ප්‍රමාණය ලියන අදහසින් සමුගන්නවා. ලබන සතියේ නැවත හමුවෙමු.

Blog at WordPress.com.