නිදහස් අදහස්

December 31, 2007

නිවේදකයා

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 3:24 am

“මගේ සටහන” මේ ලියවෙන්නෙ අටවන ලිපිය. මේ වෙනකොට සැලකිය යුතු මට්ටමේ පාඨකයො පිරිසක් ඉන්නවා. ඒ කියනන්නෙ අතේ ඇඟිලි ගණනට වඩා දැන් වැඩියි. “මගේ සටහන” කියවපු පාසල් මිත්‍රයෙක් පාසල් යන කාලෙ වුන සිදුවීම් කිහිාපයක් සිහිපත් කලා. ඉදිරියෙදි ඒ ටික ලියන්න පුලුවන්. දැනට විශ්ව විද්‍යාලය ගැන නොලියා ඉන්න තීරණය කරල තියෙන්නෙ. මොකද වුන සමහර සිදුවීම් ලියන්න තවම කල් වැඩියි. ඒ සිදුවීම් පිළිබඳව ලියන්න කලින් ආපසු හැරී බැලිය යුතුයි. බරපතලම කාරණාව තව ටික කාලයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න තියෙනවා. ඇඟ බේරගන්න බැරිවේවි දැන්ම ලිවුවොතින්.

මෙතැන් පටන් “මගේ සටහන” ආරම්භ කරනවා. කොහොමටත් පුංචි කාලෙදි පරිගණක සම්බන්ධ අංශයක යොමු වෙයි කියලා වැරදිලාවත් හිතල තිබුනෙ නෑ. සාමාන්‍ය පෙළ පන්තිය ඉවර වෙනකම් විතර වගේ ඒ තරම් වැටහීමක් තිබුනෙත්  නෑ. දැන් ඉතින් ඉදිරි  කාලෙ පුරාවට ජීවිකාව හොයාගන්න වෙන්නෙ මේකෙන් තමයි. ඒ දවස්වල හිතන්නෙ විභාග සමත් වීම ගැන විතරයි. අපි දැනගෙන හිටියෙත් ඔය ජනප්‍රිය රස්සා විදිහට සැලකෙන ටික ගැන පමණයි.  ගිය සතියෙ ලිව්වනෙ කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වීමේ සිහිනය ගැන . මගෙ තිබ්බ අනිත් ප්‍රධාන සිහිනය තමයි නිවේදකයෙක් වෙන එක. හැබැයි ඔය දැන් කාලෙ ගුවන් විදුලි නාලිකා වල ඉන්න කිසි කමකට නැතුව ඔහේ කියවන නිවේදකයෙක් වෙන්න නම් නෙවෙයි. අද කාලෙ ඉන්න නිවේදකයන්ගෙ තත්වය කොතරම් පහතට වැටිලද කියනවනම් සමහර උදවිය පාවිච්චි කරන්නෙ අන්වර්ථ නමක් වෘත්තිමය ජීවිතයේදි. සාමාන්‍යයෙන් නිවේදකයෙක්ට පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයකුට තමන්ගේ කියා ඉදිරිපත් කල හැකි අනන්‍යතාවයක් තිබිය යුතුයි. මොකකදෝ හේතුවකට මාධ්‍ය මුදලාලිලා විසින් මොවුන්ට තමන්ගේ නම භාවිතා කිරීමට ඉඩ නොදී සිටීම හරහා පුද්ගල අනන්‍යතා බිඳ වැටී තියෙන ආකාරය හරිම ශෝකජනකයි. එක අතකට ඔය කාරණාව බිඳ වැටෙන සමාජයක තවත් එක ඛේදවාචයක් විතරයි කියලා හිතෙනවා.
මගේ නිවේදකයෙක් වෙන ආසාව ඇතිවුනේ පහේ පන්තියෙ විතර ඉන්න කොට. ඒකට හේතුව වුනේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය. ගුවන්විදුලියෙ උදෑසන සහ සවස හයට ප්‍රචාරය වන ප්‍රවෘත්ති විකාශයට සවන්දීම තාත්තගෙ දින චර්යාවෙ අංගයක්. මමත් හෙමිහිට අහගෙන ඉන්නවා මොනවද කියන්නෙ කියලා. ගුවන් විදුලියෙ වැඩ සටහනක් ඇරෙන් රූපවාහිනිය බැලීම මට ඒ කාලෙ තහනම් කරලයි තිබුනෙ. අද කාලෙ පෙර පාසල් යන වයසෙ දරුවන් පවා රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉන්න ආකාරය දකින කොට තාත්තා පනවලා තිබුන තහනම මොන තරම් හොඳද කියන එක තේරුම් ගන්න පුලුවන්. දරුවන්ට ආදරය කරන එක වගේම වැරදි දේවල් වලින් ඈත් කරලා තියා ගන්න එකටත් වැඩිහිටියෙක්ට හොඳ හැකියාවක් තිබිය යුතුයි. මං හැබැයි එකඟ නොවෙන්නෙ ශාරීරික දඬුවම් දීම ගැන විතරයි. ගුවන් විදුලියට සවන් දීම ඒ කාලෙ හරිම ආශ්වාදජනක වැඩක්. තාත්ත රේඩියෝ එක ක්‍රියාත්මක කලහම මමත් බොහොම උනන්දුවෙන් සවන් යොමු කර ගෙන ඉන්නවා. ප්‍රවෘත්ති විකාශනය ඉදිරිපත් කරපු මගේ ප්‍රියතම නිවේදිකාව වුනේ “රම්‍යා වනිගසේකර” මහත්මිය. “වේලාව සවස හයයි. මෙන්න උදෑසන ප්‍රවෘත්ති. ප්‍රකාශය රම්‍යා වනිගසේකර.”. ඔය කොටස තමයි ප්‍රවෘත්ති විකාශයෙ මගෙ ප්‍රියතම කොටස. ටිකක් මතක් කරල බැලුවට ඒ කාලේ ප්‍රවෘත්ති කියපු  නිවේදකයන්ගෙ නමක් නම් මතකයට එන්නෙම නෑ. හැබැයි රම්‍යා වනිගසේකර මහත්මිය බොහොම භාම්භීර කටහඬකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු ආකාරය අදත් සිහි වෙනවා.
මං කලින් කිව්වා වගේ අහල පහල ළමයි හිටියෙ නැති නිසා ගෙදරදි කරන සෙල්ලම් මටම ආවේණික වුන ඒවා. නිවේදන කටයුත්තට මගෙ හිත කොතරම් යොමු වෙලා තිබුනද කියනවනම් කෝච්චි සෙල්ලමට අමතරව මගේ ප්‍රියතම විනෝදාංශය වුනේ ප්‍රවෘත්ති කියන එක. කියන දේවල් සියල්ලම මං විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. දැන් ඔය ඇමති මණ්ඩලේ ඉන්න ඇමතිවරුන්ගෙ නම සහ අදාල විෂය කිසිම මිනිහෙකුට මතක හිටින්නෙ නැති තරමට ඇමති වරු ඉන්නවනෙ. නමුත් ඒ කාලෙ හිටපු ඇමතිවරුන්ගෙ නම් අදාල විෂය එහෙම මට මතක හිටියා ඔය වැඩේ නිසා. ඔය සෙල්ලමත් මගෙ පාඩුවෙ කරන්න නිදහස ලැබුනා. විවේචකයො හිටියෙ නෑ කවුරුවත්ම. ළමයි කරන දේවල් හරහා යම් යම් දේවල් අනාගතයට එකතු වෙනවා. මගෙ කථික හැකියාවන්ට මූලික අඩිතාලම වැටුනෙ නිවේදක පිස්සුව නිසා තමයි. තාත්තා හැම විටම උනන්දු වුනා මගේ කථික හැකියාවන් වැඩි දියුණු කරන්න. අවාසනාවකට වගේ තාත්තා අකාලයෙ අපෙන් වියෝවුණු නිසා තරමක් අතරමගදි වැඩේ නැවතුනා. ආයෙමත් මං අටේ පන්තියෙදි ඉන්න කොට තමයි ඔය උන්නදුව  නැවත ඇතිවුනේ. හැබැයි මගෙ අඩුපාඩු කියල දෙන්න කවුරුවත්ම හිටියෙ නෑ මුල දවස් වල.
අට වසරෙදි පාසලේ කණිෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමය හරහා තමයි මගෙ හිතේ ආසාව ඉටු කරගන්න නැවත පොටක් පෑදුනේ. අපේ සංගමය භාරව හිටපු අමරදාස ගුරුතුමා තමයි මුලින්ම අත හිත දුන්නෙ. සාමාන්‍ය්‍යඑන් අපි ඕනෙම කෙනෙකුට තියෙන ප්‍රධාන බය තමයි පිරිසක් ඉදිරියට ගිහින් කථා කරන එක. මට යම් තරමකට පුරුදු කරල තිබුන නිසා මගෙ ඒ බය යම් තරමක් දුරට අඩුවෙලා තිබුනෙ. කොහොම වුනත් මං ඒ කාලෙ කථා කරන විට සභාවෙ ඉන් පිරිස දිහා බලන්නෙ නෑ වැරදිලා වත්. එහෙම වුනේ හිතේ චකිතය නිසා.  හොඳ කථිකයෙක් සතුව තිබිය යුතු  මූලික දෙයක් තමයි සභාව සමග ඇස් වලින් සබඳතාවය පවත්වා ගැනීම. ඔය සිද්ධාන්තය මට ඉස්සෙල්ලම කියල දුන්නෙ අමරදාස ගුරුතුමා තමයි. එතුමා සිංහල සාහිත්‍ය ගැන අති විශිෂ්ඨ අන්දමේ දැනුමක් තිබ්බ ගුරුවරයෙක්. මගෙ පාසල් ජීවිතේ හිටපු ගුරුවරුන් අතර මං ඉතාමත් ප්‍රිය කල කෙනෙක් බවට එතුමා පත් වෙලා හිටියා. අපේ පාසලේ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් නම් එතුමා ගැන නොදැන ඉන් විදිහක් නෑ. දැනට අන්තර් සමාජ සහ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩයෙක් වන තාරක කෝට්ටහෙවා ගෙ පියාණන් තමයි මං මේ කියන අමරදාස ගුරුතුමා. වැඩි ප්‍රසිද්ධියක් නොලැබුනත් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉශ්ඨ කරපු මේ නූතන දිසාපාමොක් වරුන්ට පින් සිදුවන්නට ශිෂ්‍යන් කී දහසකගෙ නෙත් පෑදෙන්නට ඇද්ද?
ඒ දිරි ගැන්වීම හරහා යම් තරමකට මගෙ හැකියාවන් වර්ධනය කර ගන්න අවස්ථාව ලැබුනා. සමහර කථික තරග වලදි ජයග්‍රහණ ලබා ගන්නත් හැකිවුනා. ඔය හේතු කාරණා නිසා මගෙ නිවේදකයෙක වන ආසාව හිතේ නොමැරි තිබුනා. පස්සෙ කාලෙකදි ඒ ආසාවත් හෙමිහිට නැතිවෙලා ගියා. ප්‍රධානම හේතුවක් වුනේ මම අති විශිෂ්ඨ මටටමේ කථිකයෙක් වත්, නිවේදකයෙක් වත් නොවන වග මට අවබෝධ වුන නිසා. මට වඩා පහල පන්තිවල හිටපු අති දක්ෂ කථන හැකියාවන් සහිත පාසල් සඟයන් මම දැකලා තියෙනවා. සමහර සමකාලීනයන් දැන් රූපවාහිනි , ගුවන් විදුලි ආයතන වල රාජකාරියෙ යෙදෙනවා. ස්වර්ණවාහිනියෙ ඉන්න අමින්ද වීරකෝන් කියනනෙ මගෙ පාසල් සඟයෙක්. දන්න කියන හිතවතෙක් තමන්ගෙ දක්ෂතාවය හරහා යම් තැනක ඉන්නවා දකින කොට අවංක සතුටක් ඇති වෙනවා. විශ්ශ විද්‍යාලයෙ අවස්ථා කිහිපයකදි නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුනා. ඒකෙන් මම හොඳ තෘප්තියක් ලැබුවා. අන්තිමේදි බලන කොට මට නිවේදකයෙක් වෙන්න බැරි වුණ එක ගැන කිසිම කණගාටුවක් ඇති වුනෙත් නෑ. මට තියෙන්නෙ සාමාන්‍ය මට්ටමේ හැකියාවක් බව මම හෙමිහිට අවබෝධ කර ගත්තා. ඒ හරහා ලැබුන අත්දැකීම් , හඳුනගත්ත යාලු මිත්‍රයො නිසා හිතේ ලොකු සතුටක් තියෙනවා. ජීවිතේ  ගැන හිතන කොට මං සර්ව අසුබ වාදියෙක් නම් නෙවෙයි. මට ආස කරන දෙයක් පුලුවන් තරමින් කරන්න අවස්ථාව ලැබෙනවනම් මං සතුටු වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් උගන්වනනෙ කොහොම හරි අනෙත් කෙනා පරදවල පළවෙනිය වෙන හැටි විතරයි. සාර ධර්ම ගුණ ධර්ම තියෙන්නෙ පොත් වල. විභාගෙ සමත් වන මිනිහව මහ ඉහළින් වර්ණනා කරන අය ඊට වඩා දස ගුණයකින් වැඩි අසමත් වූවන් ගැන ඇහැ ඇරල බලන්නෙ නෑ. නොයෙකුත් දෙනාට තියෙන්නෙ විවිධ හැකියාවන්. හැමෝටම හැමදේකදිම විශිෂ්ඨයකු වෙන්න බෑ. අවාසනාවකට ලංකාවෙ වැඩිහිටි පරම්පරාව ඔය සත්‍යය ගැන අවබෝධ කර ගන්න පාටක් පේන්න නෑ. හතරෙ පන්තියෙ ඉන්න දරුවා නිවාඩු කාලෙදි දවසට අවම වශයෙන් පැය හතරක් පාඩම් නොකලොත් දෙමව්පියො බැණ වදිනවා.
තිබ්බ සිහින බිඳ වැටුන එක ගැන හිතේ කිසිම ආකාරයේ දුකක් නෑ. සිහින ඉටු නොවෙන්න හේතු මොනවද කියල අවබෝධ කර ගත්ත නිසා. විශිෂ්ඨයෙක් වෙන්න බැරි වීම ගැන කණගාටු විය යුතු නෑ. මොකද වෙනත් ආකාරයකින් ජීවිතේ ඉදිරියට යන්න දිරිය ලැබෙන නිසා. තවත් “මගේ සටහන” ක් මේ ආකාරයට හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

December 24, 2007

කෝච්චි ඩ්‍රයිවර්

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 3:03 am

“මගේ සටහන” ගියවර ලිපිය දිග මදි කියලා චෝදනාවක් ලැබුනා. නමුත් ලිව්වෙ වෙනදට ලියන ප්‍රමාණයම තමයි. සාමාන්‍යයයෙන් “මගේ සටහන” වචන දාහක් වගේ ගණනකට සීමා කරලයි තියෙන්නෙ. උපන්ගෙයි කම්මැලි කම නිසා ඊට වඩා වැඩි යමක් කරන්න අමාරුයි. ගිය සතියෙ ලිපිය සාර්ථකව ලියවුනා කියලා හිතෙනවා. ඇත්තටම පාසල් යන කාලෙ සිදුවීම් මතක් කරන කොටත් බොහොම මිහිරි ආශ්වාදයක් ලැබෙනවා. ඒ දවස්වල ගුරුවරයෙක් ගෙන් ගුටි කෑව එක පවා මතක් වෙද්දි ආයෙත් පාසල් යන්න හිතෙනවා. ඕනෑම දේක අගය දැනෙන්නෙ අපි ළඟ ඒ දේ නැති වුනාම තමයි. අනිත් කාරණාව “මගේ සටහන” මුලින්ම පල  කලේ බ්‍රහස්පතින්දා දවසක. ගිය සතිය වෙනකොට අඟහරුවාදා පලකලා. නමුත් මීට පස්සෙ “මගේ සටහන”  පල කරන්නෙ සඳුදා. එහෙම කරන එක මටත් ලේසියි. සති අන්තයෙ නිවී සැනසිල්ලෙ ගෙදරට වෙලා “මගේ සටහන” ලියනන පුලුවන්. දැනට වඩා ලිපියෙ අඩු පාඩු නිවැරදි කරලා පල කරන්න අවස්ථාව ලැබෙනවා. මේ ලිපියෙ  සතියෙ ඉඳන් “මගේ සටහන” කියවලා අලුත් සතිය ආරම්භ කරන්න කියවන ඔයාලට පුලුවන්. එහෙනම් ඉතින් “මගේ සටහන” සත් වන දිග හැරුම මෙතැන් සිට.
ගිය සතියෙ ලිව්වෙ උසස් පෙළ අවධිය ගැන වුනත් ආයෙමත් පුංචි සන්ධිය ගැන ලියන්න හිතුනා. සියලු දේටම කලින් පොඩි කතන්දරයක් කියන්න තියෙනවා. කථාව මට කියවන්න ලැබුනෙ සඟරාවක තිබිලා. සාමාන්‍යයයෙන් ඔය ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට කිව්වොතින් “මං කැමති ඔයාව මගෙ හොඳ යාලුවෙක් විදිහට තියාගන්න” කියලා ඒක පිටි පස්සෙ හැංගිච්ච අර්ථයක් තියෙනවලු.  ඒකෙන් කියන්නෙ ඇත්තටම   ගැහැණු ළමයට අවශ්‍ය පිරිමි ළමයා තමුන්ගෙ ජීවිතෙන් අයින් වෙනවා දකින්නලු. ඉතින් ඔය දේ කෙලින් කියාගන්න බැරිකම නිසාත් , පිරිමි ළමයගෙ හිත රිදවනන අකමැතිකම නිසාවෙන් තමයි ඒ විදිහට කියන්නෙ කියලා සඟරාවෙ සඳහන් කරලා තිබුනා. “මගේ සටහන” වැඩිපුරම කියවන්නෙ තරුණ වයසෙ උදවිය නිසා කාට හරි ප්‍රයෝජනයක් වේවි කියලා හිතලා ඔය ටික කිව්වෙ. ඔන්න ඉතින් නියම මාතෘකාවට දැන් තමා පිවිසෙන්නෙ.
ළමයෙක් පොඩි කාලෙ වැඩිහිටියො ඒ ළමයගෙන් අහන අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙ තමයි “පුතා ලොකු වුනාම මොන වගේ කෙනෙක්ද වෙන්නෙ”. ලංකාවෙ ළමයෙක්ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවම ළමයා දිය යුතු අනිවාර්ය පිළිතුරු කිහිපයයි තියෙන්නෙ. එක්කො දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්තම් නීතිඥයෙක් වගේ උත්තර ටිකක් තමයි. අපරාදේ කියන්න බෑ ඔය ප්‍රශ්නෙ අහන බව දන්න හින්දා අම්මලා තාත්තලත් ළමයව තැනකට එක්කගෙන යන්න කලින් ඔය ප්‍රශ්නෙට උත්තරේ කට පාඩම් කරගෙන තමයි අරගෙන යන්නෙ. පොඩි එකාගෙ රුචි අරුචි කම් , හැකියාවන් ගැන ප්‍රශ්නෙ අහන උදවියට අබමල් රේණුවක තරම් වත් තැකීමක් නෑ. වැරදිලාවත් ඔය සමාජෙ ජනප්‍රිය රස්සා ටිකට අමතරව වෙන උත්තරයක් දුනනොත් පොඩි එකාට දෙවියන්ගෙම පිහිටයි. ලංකාවෙ  මිනිස්සු තමුන්ගෙ චින්තනය පැත්තෙන් වැටිලා ඉන්න ආගාධයෙන් ගොඩ එන්න තව කොච්චර කල් යයිද කියන එක තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙන් එක දෙවියෙක් වත් දන්නවද කියන එක සැකයි. මගෙන් පොඩි කාලෙදි ඔය ප්‍රශ්නෙ ඇහුවම එක එක කාලෙට මට තිබුනෙ නොයෙකුත් මාදිලියෙ ආසාවන්. ඔය ධනාත්මක චින්තනය මාර්කට් කරන කට්ටිය දැන් කියනවනෙ මං කවදහරි අහවල් කෙනෙක් වෙනවා කියලා හිතාගන්න කියලා. නමුත් ඔය කථාවට මං ඒ තරම්ම එකඟ නෑ. මොකද ළමයෙක් අවුරුදු පහක් විතර වයසෙදි ඒ ළමයා කවදා මොනවා කරයිද කියන එක හරියටම කියන්න අමාරුයි. වැඩිහිටියන්ගෙ යුතුකම විය යුත්තෙ ළමයෙක්ගෙ සැබෑ දක්ෂතා අඳුරගෙන ඒ අදාල මාර්ගයෙ යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසා දෙන එක. අවාසනාවට වගේ ඔය කාර්යය වෙන්නෙ නැති නිසා තමන් ආස කරන ක්ෂේත්‍රයට හාත්පසින් වෙනස් කාර්යන් වල නිරත වෙන උදවිය අපිට නිතරම මුණ ගැහෙනවා.
මුලින්ම මගෙ ආසාව තිබ්බෙ ලේඛකයෙක් වෙන්න. කොහොමටත් කියවීමට ලොකු නැඹුරුවක් තිබුනා මට පොඩි කාලෙ ඉඳලම. ඒක තාත්තගෙන් මට ලැබුනු පුරුද්දක්. පාසල් යන කාලෙ විවේක වෙලාවට කරන්න වෙන දෙයක් තිබුනෙත් නෑ. පරිගණක ගැන රටේ එතරම්ම ලොකු ආන්දෝලනයක් තිබුනෙත් නෑ. උසස් පෙළ සමත් වෙනකම් මට ගෙදර පරිගණකයක් තිබුනෙත් නෑ. ඇත්තටම කියනවනම් කියවන්න ඇබ්බැහි වෙලා හිටියා කිව්වොත් වඩා නිවැරදියි. මං මුලින්ම හය වසරෙ ඉන්න කොට පුස්ථකාලයෙන් ගන්න හැදුවෙ රුසියන් ලේඛක මිහයිල් ලෙර්මන්තොව් ගෙ “අපේ කාලයේ වීරයෙක්” කියන පොත. ඒ පොත මට කියවන්න තරම් සරල නැහැ කියලා පුස්ථකාලයාධිපතිනිය පොත නිකුත් කලේ නෑ. කොහොමින් කොකොම හරි ලේඛකයෙක් වෙන ආසාව කාලයත් එක්කම වියැකිලා ගියා. මං වැඩියෙන්ම ආස කලේ දුම්රිය රියදුරෙක් වෙන්න. සරල භාෂාවෙන් කියනවනම් කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්න. දැන් නම් කෝච්චියෙ යන එක එපා වෙලා තිබුනට ඒ දවස්වල පුදුම පිස්සුවක් තිබුනෙ. අපි ගනේමුල්ල නගරයට ආසන්නව පදිංචිවෙලා හිටපු කාලෙ අම්මා රාජකාරියට යන්න එන්න දුම්රියට ගොඩ වෙන්නෙ ගනේමුල්ල දුම්රිය ස්ථානයෙන්. ගොඩක් දවස් වල හවසට තාත්තයි මමයි හවස අම්මා වැඩ ඉවර වෙලා එන වෙලාවට ගනේමුල්ල දුම්රිය ස්ථානයට යනවා. ටිකට් පරීක්ෂා කරන උදවිය අපිව දන්න හින්දා දුම්රිය වේදිකාවට ඇතුල් වෙලා ඉඳගෙන ඉන්න අවසරය ලැබෙනවා ටිකට් ගන්නෙ නැතුව. මගෙ වැඩේ යන එන කෝච්චි දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්න එක. ඔය හේතු කාරණා නිසා ක්‍රමක්‍රමයෙන් මගෙ කෝච්චි පිස්සුව වැඩිවුනා. කෝච්චි වැඩේ මං ආස කරපු කරුණු දෙකක් තිබුනා. එකක් තමයි දුම්රිය ගමනාන්තය වෙනකම් අතරමග නැවතුම් මොනවද කියන එක දැන ගන්න  එක. අනිත් එක දුම්රිය ගමනාන්තය ගැන කරන නිවේදන වලට සවන් දෙන එක. සමහර දුම්රිය ස්ථාන වල නිවේදන කටයුතු කරන්නෙ නැති වුනත් ගනේමුල්ල සාමාන්‍යයෙන් ප්‍රධාන දුම්රිය නැවතුමක් නිසා හැම දුම්රියක් ගැනම නිවේදනය කරනවා. කොච්චරඬ උන්නදුවකින් ඒවා අහගෙන හිටියද කියනවනම් මට ඒ දවස්වල කට පාඩම් වෙලා තිබුනෙ එක් එක් කෝච්චියට අදාල නිවේදනය.
මං ගෙදර ගියාම හිතන්නෙ කොහොමද කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්නෙ කියලා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් , ක්‍රියා පටිපාටි ගැන මෙලෝ හසරක දැනීමක් තිබුනෙ නෑ. මගෙ කල්පනාව තිබුනෙ එහෙම කෙනෙක් වෙන්න ලැබුනොතින් අඳුරන කට්ටිය මගෙ කෝච්චියෙ එක්කගෙන රට වටේ යන ආසාව තමයි. මට මතක විදිහට අම්මවත් තාත්වත් ඔය කල්පනාව ගැන මුකුත් කිව්වෙ නෑ. තාත්තා ගුරුවරයෙක් වුන නිසාමදෝ ළමයෙක් වුන මගෙ මානසිකත්වය තේරුම් ගන්න ඇති කියල දැන් තමා කල්පනා වෙන්නෙ. ගනේමුල්ලෙ ඉන්න කාලේ අපි හිටපු ගෙදර අහල පහල මගෙ වයසෙ  ළමයි හිටියෙ නෑ සෙල්ලම් කරන්න. ඒක නිසා මට සිද්ධ වුනා තනියම සෙල්ලම් කරන්න ගෙදර ඉන්න වෙලාවට. කෝච්චි එක්ක බැඳිල තිබුන ආසාව නිසා මගෙ ලොකුම විනෝදංශයට සම්බන්ධ වුනෙත් කෝච්චි.
ගෙදර සාලෙ බිම මං ඇඳලා තිබුනා රටේ හතර දිසාවටම යන කෝච්චි පාරවල් ටික පාට කූරු වලින්. කෝච්චි හතරක් පහක් විතර හදාගෙන තිබුනා හිස් ගිනි පෙට්ටි වලින්. ඊට අමතරම කෝච්චි වලට විශේෂිත නම් තියෙනවනෙ. ඔය නම් ටිකත් පාඩම්. මගෙ වැඩේ තමයි ඔය කෝච්චි එලවන එක. මුලින්ම මං නිවේදනය කරනවා කෝච්චියෙ ගමනාන්තය ගැන, අතරමග නැවතුම් පලවල්. මගෙ ආසම කෝච්චි නිවේදනය තමයි බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකෙ දුම්රිය නිවේදනය. මට තාමත් බදුලු කෝච්චිය නවත්තන දුම්රිය ස්ථාන මතකයෙ තියෙනවා. කාලයත් එක්ක සමහර වෙලාවට වෙනත් දුම්රිය ස්ථාන වල කෝච්චිය දැන් නවත්තනවා ඇති.
අනිත් ආසම නිවේදනය තමයි ත්‍රිකුණාමල කෝච්චියෙ නිවේදනය. ඔය මන්නාරමට කෝච්ච් යන එක නවත්තලා සැහෙන කාලයක් වුනත් මගෙ කෝච්චි මන්නාරමට විතරක් නෙවෙයි යාපනයටත් ගියා. කෝච්චි නිවේදන තනියම කියවනව ඒ කාලෙ කවුරු හරි බලාගෙන හිටියනම් “මේ ළමයට පිස්සු” කියලා හිතන්නත් ඉඩ තිබුනා. හැබැයි මට ඇති වෙනකම් ඔය වැඩේ කරන්න උපරිම නිදහස ලැබිල තිබුනා. රට තොට ගැන , සමාජ අධ්‍යනය වගේ පාඩම් වල මූලික දේවල් ඉගෙන ගන්න ලැබුනෙ ඔය විනෝදංශය  හරහා තමයි. මං අහන දේවල් කියල දීලා තාත්ත මට නිහඬවම අනුබලය දුන්නා.
අවසානයේදි ඉහළ පන්ති වලට එද්දි විනෝදාංශය මග ඇරිලා ගියා. කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වීමේ ආසාව ඉටු කරගන්නත් බැරිවුනා. දුම්රිය වර්ජනයක් තිබුන දවසක කෝච්චි ඇන්ජිමක එල්ලිලා ගියා මිසක් වෙන අවස්ථාවක් ලැබිලත් නෑ. වැල යන අතට මැස්ස ගැහීමේ න්‍යාය අනුගමනය කරලා දැන් හිත හදාගෙන  ජීවත් වෙනවා. ඕනෑම ළමයෙක්ට තමන්ට ආවේණික සිහින තියෙනව. වැඩිහිටියන්ගෙ වගකීම ඒව සිනහවට ලක් නොකර ස්භාවිකව ළමයා සතු හැකියාවන් වර්ධනය වෙන්න ඉඩ දෙන එක තමයි. හිතන්නට යමක් ඉතුරු කරලා මෙවර “මගේ සටහන” නිමා කරනවා. නැවත හමුවෙමු.

December 18, 2007

උසස් පෙළ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 3:00 am

“මගේ සටහන” මේ ලියවෙන්නෙ හයවන ලිපිය. සතියක් පාසාම වගේ අලුතෙන් ලිපිය කියවන කිහිප දෙනෙක් හඳුනා ගන්න ලැබෙනවා. ඒක බොහොම සතුටට කාරණාවක්, යාලු මිත්‍රයො ආශ්‍රය කරන්න ලැබීම. කොහොම වුනත් ඒක “මගේ සටහන” ලියන්න ලැබෙන දිරි ගැන්වීමක්. “ජීවිතෙ ගෙවෙන්නෙ කිසිම දෙයක්  අලුතෙන් එකතු වෙන්නෙ නැතුව , බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි” . ඔය ටික මගෙ දින පොතේ ලියවුන පේලියක්. “මගේ සටහන” නිසා දින පොත ලියවෙන එක ටිකක් අතපසු වෙනවා. කොහොමින් හරි වැඩ දෙකම කරගෙන යන්න කියලා කල්පනාව තියෙන්නෙ. එහෙනම් ඉතින් “මගේ සටහන” හය වන දිග හැරුමයි මේ.

මං උසස් පෙළට හැදෑරුවෙ ගණිත විෂය ධාරාව.  උසස් පෙළ කරපු අවධිය බොහොම සුන්දර කාලයක්. මෝඩ වැඩ බහුලව කරපු, මදි නොකියන්න පාඩම් ඉගෙන ගන්න ලැබුනු කාලයක්. හැදෑරුවෙ ගණිතය විෂයන් වුනාට මට ගණන් බෑ ඒ දවස් වල. සංයුක්ත ගණිතයට වැලේ වැල් නෑ. උදේ ඉස්කෝලෙ යනවා, සෙනසුරාදා  ඉරිදා අමතර පන්ති යනවා. මොනවා කලත් වැඩ සවුත්තුයි. සාමාන්‍යයෙන් හැම පාසල් වාරයක් අවසාන වෙලා විභාගය එහෙම පැවැත්වුනාට පස්සෙ දෙමවුපියන්  කැඳවලා රැස්වීමක් තියෙනවා. මෙතනදි තමයි තමන්ගෙ දරුවගෙ අධ්‍යාපන වැඩ කටයුතු වල තත්වය ගැන දෙමවුපියන්ට දැන ගන්න ලැබෙන්නෙ. ඔය දවස මං සාමාන්‍යයෙන් හරි අකමැති දවසක්. මොනව කළත් එදාට දෙමවුපියන්ගෙන් එක් කෙනෙක් හරි සහභාගි වීම අනිවාර්යයි. ගොඩක් ළමයින්ගෙ අම්මා තාත්තා දෙදෙනාම එනවා. තාත්තා හයේ පන්තියෙදි මිය ගිය නිසා අම්මා විතරයි එන්නෙ. සමහර වෙලාවට දුකත් හිතෙනවා අනිත් ළමයින්ගෙ තාත්තල එනවා දකිනකොට.වෙන්වීම කියන එකේ බරපතලකම වැඩි වැඩියෙන් ඒ වගේ වෙලාවට දැනෙනවා. මමත් ඉතින් සාමාන්‍ය පෙළ පන්තියට එනකම්ම  නොවැරදීම අම්මව එක්කගෙන යනවා ඔය ගුරු දෙගුරු රැස්වීම තියෙන දවසට. හැබැයි උසස් පෙළ පන්තියෙදි එකඑම එක වතාවයි අම්මව එක්ක ගෙන ගියෙ. ඇත්තම කියනවනම් ඊට පස්සෙ කවදාවත් එක්ක ගෙන ගියෙ නෑ. මොකක් හරි බොරුවක් කියල බේරෙනවා. ප්‍රගති වාර්තාවෙ ලකුණු  දැක්කනම් අම්මට ලැජ්ජ හිතෙනවා ඒ දවස් වල. ගණිතයට කොච්චර දුර්වල වෙලා හිටියද කියනවනම් දොළහෙ පන්තියෙදි ගණිතයට ලකුණු තිස් හයයි. ජීවිතේට එච්චර අඩු ලකුණු හම්බ වෙලා නෑ. ඊළඟ වතාවෙ වැඩි ලකුණු ගන්න පොරොන්දුව පිට බැණුම් අහන්නෙ නැතුව බේරුනා. එහෙම වුනාට වැඩි දෙයක් කරන්න බැරිවුනා අනිත් වතාවලදිත්. හෙමිහිට ටිකක් බොරු කියලා ෂේප් වෙනවා.

ආපහුව හැරිලා බලද්දි උසස් පෙළ කරන කාලෙ පසුබෑම් වලට හේතුව නොහැකියාවමත් නෙවෙයි. පණ්ඩිතකම තමයි ප්‍රධාන හේතුව. අපේ පන්ති භාර ගුරුතුමිය හැමදාම කියනවා උදේ හතරට නැගිටලා පාඩම් කරන්නෙයි කියලා. පන්තියට ගියාම අහනවා “අද උදේ නැගිටල මොනවද පාඩම් කලේ” කියලා. හැමදාම කලේ බොරු කියන එක තමයි. අපරාදෙ කියන්න බෑ අපිමයි රැවටුනේ. උසස් පෙළ කරපු කාලෙටම එකම එක දවසක් උදේ හතරට නැගිටලා තියෙනවා පාඩම් කරන්න. ඒකත් සති ගානක් තිස්සෙ කල්දමමින් ඉඳල කලේ. අම්මටත් සන්තෝස හිතුනා පුතණ්ඩියා උදේ නැගිටපු එකට  පාඩම් කරන්න. අම්මත් ඉක්මනට අවදි වෙලා තේ එකක් එහෙම හදල දුන්නා. මාත් තේ එක  බීලා ආයෙමත් හතරහ මාරට විතර නිදාගත්තා. පාඩම් කරන්න කියල පාන්දර නැගිටපු එකම ප්‍රථම සහ අන්තිම දවස ඒක තමා. විශ්ව විද්‍යාලෙ විභාග ගොඩ දාගන්න බැරිම බව තේරෙන කොට ප්‍රශ්න පත්තරේ තියෙන දවසෙ උදේට නැගිටිනවා. පාඩම් ඉගෙනගත්ත නිසා අර පණ්ඩිතකම දැන් ටිකක් අඩු වෙලා තියෙන්නෙ.

උසස් පෙළ පන්තියෙදි අපිට සංයුක්ත ගණිතය උගන්වපු ගුරුවරයා තරමක් අපූරු චරිතයක්. කිසිම අනුකම්පාවක් නෑ ළමයින්ට. ළමයින්ට ගුටි බැට දෙන්න පසුබට වෙනනෙ නෑ. හැබැයි ළමයින්ට ශාරීරිකව දඬුවම් දුන්න ගුරුවරුන්ට වඩා වැරදි තෙරුම් අරගෙන කටයුතු කරපු ගුරුවරු ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනවා. ඉතින් අපේ ගණිත ගුරුවරයා බොහොම උගත් කෙනෙක්. ගණිතය විෂයට ගෞරව උපාධියක් තිබුනු කෙනෙක්. අසීරු ගණිත ගැටඵවක් විසඳන එක ඒ ගුරුවරයට ලොකු ආශ්වාදයක්. ඒක එතුමා විස්තර කරන්නෙ මෙන්න මෙහෙම.

“අයිසෙ , ඔය ගාණක් මහන්සිවෙලා හැදුවම තියෙන ආතල් එක හරියට කෙල්ලෙක් දාගත්තා වගේ, ඒක නිසා ට්‍රයි කරනව අත අරින්නෙ නැතුව”. අපේ පන්තියෙ සමහරුන්ට පෙම්වතියො හිටියා. සමහරු ගණිතයට අතිශයින් දක්ෂයි. අපිට ගණන් හදන්නත් බෑ, කෙල්ලෙකුත් නෑ. ඒක නිසා අපිට ආතල් නෑ. අපි ඉතින් පුලුවන් නම් ගණන් පීරියඩ් එක වෙලාවට කට්ටි පනිනවා. නැත්තම් බොරුවට ගණන් හදන්න උත්සහ කරනව වගේ පෙන්නනවා. ඒ දවස් වල ගණිතය වෙලාවට පන්තියෙ ඉන්න එක හරි භයානකයි. දවසක් සර් පොත් බැලුවා. ගැලවෙන්නෙ විදිහක් තිබුනෙම නෑ. මමත් කරන්න දෙයක් නැති තැන ගිහින් පොත පෙන්නුවා. සර් ට කොච්චර කේන්ති ගියාද කියනවනම් මගෙ පොත  පන්තියෙ පිටි පස්සට පියාඹල ගියා. මමත් හෙමිහිට ගිහිල්ලා පොත ඇහිඳගෙන ඇවිල්ලා වාඩි වුනා. සාමාන්‍යයෙන් ගෙදරදි හදාගෙන එන්න ගණන් දෙනවනෙ. විස්සක් දුන්නොත් උපරිම දෙකකට වඩා හදන්නෙ නෑ. වෙන මොනව හින්දමත් නෙවෙයි බැරිකම නිසා. පහුවදා උදේට ගිහිල්ලා හදපු ළමයෙක් ගෙන් කොපි කරන එක තමා කරන්නෙ. හැබැයි ඒක අනිත් ළමයින්ට කොච්චර වදයක් වෙන්න ඇතිද කියලා දැන් තමා තේරෙන්නෙ. ඒ දවස් වල කාගෙන් හරි කොපි කරනවා ඇරෙන්න තනියම ගාණක් හදන්න උනන්දුවක් තිබුනෙත් නෑ. හැබැයි දවසක් අපෙ පන්තියෙ සඟයෙක් කෙලින්ම කිව්වා “මේක මාර වදයක්නෙ , අනිත් දවසෙ තනියම හදාගෙන වරෙං” කියලා. එදා නම් පොළොව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. ඊට පස්සෙ ඒ සඟයගෙන් කොපි කරන්නෙ නැතුව අනිත් සඟයන්ගෙන් විතරක් කොපි කලා. අපරාදෙ කියන්න බෑ අන්තිම මොහොතෙ හරි මහන්සි වෙලා අපේ සඟයො වැඩි දෙනෙක් විශ්ව විද්‍යාලෙ  යන්න සමත් වුනා.

ගණිතය විතරක් නෙවෙයි අනිත් විෂයන් දෙකත් බෑ. රසායන විද්‍යාව ඉගැන්නුවෙ අපේ පන්ති භාර ගුරුතුමිය. සතියට දවස් දෙකක් වත් පන්තියෙ හිට ගෙන ඉන්නව මුල දවස්වල වැඩ කරන්නෙ නැතුව. අන්තිමේදි කියල කියල බැරිම තැන අපිට දඬුවම දෙන එක අත අරින්න ඇය තීරණය කලා. ඒකත් අපි ලබපු සැබෑ ජයග්‍රහණයක්. වැඩ නොකර ඉඳලමයි ජයගරහණය කලේ. ඒකේ සැබෑ ප්‍රථිඵලය පළවන වතාවෙ  උසස් පෙළ ප්‍රථිඵල ලැබුනම විඳගන්න ලැබුනා. එවෙලෙ තමයි හිතුනෙ අනේ අපොයි කියලා. අනිත් විෂය භෞතික විද්‍යාව. කවදාවත් ලකුණු හතළිහකට එහා පැත්තෙ අරගෙන නෑ. කොහොමටත් මගෙ උසස් පෙළ හදාරන අවධියෙ පාසල් ප්‍රගති වාර්තාවෙ කිසිම කෙනෙකුට හොයාගන්න බැරිවෙන්න ඒ කාලෙම හැංගුවා. අඩුම ගානෙ කොහෙ හැංගුවද කියලා මටවත් මතක නෑ දැන්. භෞතික විද්‍යාව කාල පරිච්චේදය කට්ටි පනින්න ලේසියි. එක විනාඩියක් පරක්කු වුනත් පන්තියට ඇතුල් වීම තහනම්. පනින රිළවුන්ට ඉණිමං බඳින්න ඕන නෑ කියලා කතාවට කියනවනෙ. අපෙ පන්ති ළඟට වෙන්න තමා පුස්ථකාලය තිබුනෙත්. හෙමිහිට ඒකට රිංගගෙන ඉන්නවා වෙලාව එවර වෙනකම්. ඔය වගේ ඉතා හොඳට අධ්‍යාපනය කරපු නිසාම උසස් පෙළ පන්තියෙදිත් දහවෙනියගෙන් ඉහළ ස්ථානයක් ගන්න බැරිවුනා. ඒකට ඉතින් කාටවත් වැරද්දක් කියන්නත් බෑ. අපි කරපු හැටියට තමයි අපට ප්‍රථිඵල ලැබුනෙ. 

කොහොමටත් මං ඉස්කොලෙ යන්නෙ අට පහුවෙලා. ඒ දවස්වල පාසල පටන් ගත්තෙ අටට. මං ආවෙ ගියෙ දුම්රීයෙ. උදේට රාගම ඉඳන් පාසලට එන්න වැඩි වෙලාවක් ගතවෙන්නෙ නෑ. මම කොහොමත් උදෙන්ම ගෙදරින් එනවා. නමුත් පන්තියට යන්නෙ පාසල ආරම්භ වුනාටත් පස්සෙ. අපේ පන්ති භාර ගුරුතුමියට තිබ්බ ප්‍රධාන ප්‍රශ්නෙ වේයන්ගොඩ, මීරිගම වගේ දුර ඉඳලා දුම්රියෙ එන ළමයි වෙලාවට කලින් පාසලට එද්දි මං විතරක් ප්‍රමාද වෙන්න හේතුව මොකද කියන එක. දවසක් ගුරු දෙගුරු රැස්වීමකදි අපේ අම්මගෙ අවධානයට ඔය කාරණාව ගුරුතුමිය යොමු කලා.  පව් පින් සලකන්න ගියොත් බේරෙන්න බැරි නිසා මොකද්දෝ ගල් පැලෙන බොරුවක් කියලා ජාම බෙරගත්තෙ. ඒ කාලෙ කරපු වැඩ වලට මේ වෙනකොට අම්ම ගෙන් සමාව ලැබිල තියෙන නිසා දැන් ඉතින් ආරංචි වුනත් කමක් නෑ කියල ලියල දානව කරපු වැඩ. එහෙනම් ඉතින් නැවත “මගේ සටහන”  කින් හමුවෙන තෙක් ආයුබෝවන්.
 

December 13, 2007

නම

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 2:54 am

“මගේ සටහන” ට තව තවත් ප්‍රතිචාර ලැබෙනවා. “මගේ සටහන” කියවලා ප්‍රතිචාර දක්වපු අලුත් යාලු මිත්‍රයො කීප දෙනෙක් දැන කියා ගන්නත් ලැබුනා. ඒ ගැනත් බොහොම සතුටුයි. මොනව වුනත් “මගේ සටහන” ගැන කල්පනා කරලා බලද්දි මටම දැනුනු දුර්වලතා තියෙනවා. සමහර වෙලාවට මොකද්දෝ අපිළිවෙල ගතියක් තියෙනවා වගේ. ප්‍රධාන හේතුව හිතට එන දේ කෙලින්ම පරිගණකයෙන් යතුරු ලියනය කරන එක. මුලින්ම අත් පිටපතක් ලියවුනානම් වැඩේ මීට වඩා හොඳට කරන්න පුලුවන් කියලා හිතෙනවා. නමුත් මගෙ කම්මැලි කම නිසා ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි.  අනිත් කාරණාව සංස්කාරකවරයෙක් නැති එක. සාමාන්‍යයෙන් පත්තරේක පලවන ලිපියක් මුලින්ම සංස්කරණය කරලා, හරි වැරදි බලලා තමයි පල කරන්නේ. මට ඉතින් එහෙම පහසුකම් නැති නිසා හරි වැරදි, අඩුපාඩු තිබුනොත් සමාවෙලා “මගේ සටහන” කියවන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලලා ඉන්නවා. සිනදුවකුත් අහන ගමන් “මගේ සටහන” පස් වන දිග හැරුම ආරම්භ කරනවා.

මේ ලිපිය ඇත්තටම මුලදි ලියවෙන්න තිබුනු එකක්. මං කලින් සඳහන් කරපු අපිළිවෙල හේතුවෙන් දැන් තමා මේ ලිපිය ලියවෙන්නෙ. අන්තර්ජාලයේ පිහිටෙන් අපිටත් මේ වගේ තීරු ලිපියක් ලියන්න අවස්ථාව ලැබුනට පත්තරේකට සතිපතා පලවන තීරු ලිපියක් ලියන එක ලේසි පාසු කාරියක් නෙවෙයිනෙ. ලියන පුද්ගලයට හොඳ සාහිත්‍යමය හැකියාවක්, සරල ප්‍රකාශන වහරක් තිබීම අත්‍යවශ්‍ය දෙයක්. කොහොම වුනත් වැදගත්ම දේ තමයි තීරු ලිපියට හොඳ නමක් සහ ලේඛකයා හඳුන්වා දීමට ක්‍රමයක් කල්පනා කරන එක. ඉතින් මටත් “මගේ සටහන” ලියන්න යද්දි ඔය ගැටලුව පැන නැගුනා. මම හොයලා බැලුවා වැඩේ කෙරෙන විදිය. නොයෙකුත් ලේඛකයො තමන්ගෙ ලිපිය හඳුන්වන්න නම් යොදනවනෙ. උදාහරණ වලින් දක්වනවා නම් මෙහෙමයි. “සිඵමිණ” පත්තරේට ලියන අසහය මාධ්‍යවේදියෙක් වන සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා තමන්ගේ තීරු ලිපියට නම යොදල තියෙන්නෙ “ජීවිතය සුන්දරයි” කියලා. මං ආසම කරන තීරු ලිපිය ඒක. ඒ තීරු ලිපිය ගැන වෙනම “මගේ සටහන” ක ලියන්න මමත් බොහොම ආසාවෙන් ඉන්නවා. රට රාජ්ජ වල සංචාරය කරපු ඒ වගේම සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම රසවත් ලිපි ලියන නීල් වීජේරත්න මහත්මයා ලිව්ව තීරු ලිපි
කිකිපයක්. මගෙ මතකයෙ හැටියට නම “මදුරාසි කොලුවා”. “දිවයින” පත්තරේට ලියනවා රන්ජන් ගාමිණී කියලා අපූරු ලේඛකයෙක්. ලිපියෙ නම “තානායම් පල්ලාගෙ සටහන”. තමනගේ රාජකාරිමය ජීවිතයේදි සහ එදිනෙදා ජීවිතයේදි මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කරගෙන ලියවෙන මේ සටහන් පෙල කියවන කොට ඕනෙම මිනිහෙක්ගෙ හිත ඇතුලෙ තියෙන සංවේදි භාවය මොන තරම් සුන්දරද කියල හිතෙනවා. තමන්ගෙ හිත ඇතුලෙ තියෙන දේවල් පිටතට ප්‍රකාශ කරන්න ඒ තරම් අපූරු දෙයක් තවත් නැති තරම්. ආත්ම ප්‍රකාශනයක් කරන කොට  ඉබේම අපිට තියෙන මානසික පීඩනයත් අඩුවෙලා යනවා. ඔය වහේ කාලාන්තරයක් තිස්සෙ ජනාදරයට පත්වුනු තවත් ලිපියක් තමයි “මානි ගෙ තීරුව” . ලියන්නෙ අපි කවුරුත් දන්න “සුනදර නිහතමානී ද මැල්” කියන ලේඛකයා. නමේ හැටියටම ලියන දේවලුත් සුන්දරයි. “කසුරිගෙ කොලම” ලියන්නෙ කරුණාදාස සූරියආරච්චි මහත්මයා. ඔය කියපු ලිපි දෙකම ලංකාවෙ පවතින සමාජ , දේශපාලන වට පිටාව විවේචානාත්මකම බොහොම උපහාස රසය මිශ්‍ර කරලා මිනිස්සුන් ගෙ හිත් වලට කාවදින විදිහට ලියන ලිපි. ඔය ආකාරයට නොයෙකුත් විදියෙ තීරු ලිපි සහ සතිපතා පලවන අනෙකුත් ලිපි පලවෙනවානෙ. මට ප්‍රශ්නය වුනේ මං ලියන්න ලෑස්ති වුන ලිපියට හඳුන්වාදීම ලියන්නෙ කොහොමද කියන එක. සරලම ආකාරය ඉස්සෙල්ල කියපු විදිහට ලිපියට නමක් සහ ලියන්නාගෙ නම පහතින් සඳහන් කරන එක.

ලිපියට  “මගේ සටහන” කියලා යොදන්න තෝර ගත්තා. ඔන්න එක වැඩක් ඉවරයි. ඊළඟ වැඩේ ලියන පුද්ගලයා හැඳින්වීම. මං මුලින්ම කිව්වනෙ ඒක ගැන කල්පනා කරලා බැලුවා. ඉතින් මං ආසම හැඳින්වීම මෙන්න මේක. “ඉරිදා ලක්බිම”  පත්තරේ කියවන අය දන්නවා ඇති මං මේ කියන ලිපිය ගැන. ලේඛකයව හඳුන්වන්නෙ මෙහෙම “ගාල්ලේ දෙව්සිරි .පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට”. ලියන්නෙ දෙව්සිරි .පී. හේවාවිදාන , උපන් ගම ලංකාවෙ ගාල්ල. දැන් ඉන්නෙ එංගලන්තයෙ ලන්ඩන් නුවර. මටත් තදින්ම ආසාවක් ඇතිවුනා ඒ වගේ හැඳින්වීමක් යොදාගන්න තියෙනවනම් කියලා. මගෙ නම පිළිබඳව කියන්න තරම් බරපතල අවුලක් නැහැ. ප්‍රසිද්ධියෙ නම ප්‍රකාශ කරන්න බැරිවෙන තරමෙ වැඩ තාම කරල නැති නිසා බය වෙන්න දේකුත් නෑ. නම ගැන ගැටඵව හරි. බරපතලම හරිය උද්ගත වුනේ ඊට පස්සෙ. අපේ ගමේ නම මහරනුගේගොඩ. මගේ විශ්ව විද්‍යාල සඟයන් ගෙන් නොයෙකුත් අපහාස උපහාස වලට මුහුණ දෙන්න වෙලා තියෙනව ගමේ නම නිසා. කට්ටිය කියන්නෙ මං ඉන්නෙ එලොවට මෙලොවට දෙකටම අයිති නැති ගමක කියලා. ගමේ නම හැදුනෙ කොහොමද කියන්න දන්නෙ නැති වුනත් නම ගැන නම් මගෙත් වැඩි පැහැදීමක් නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි. ඔය විස්තර පත්‍රිකාවක් එහෙම පුරවලා දෙන වෙලාවට භාර ගන්න පුද්ගලයා මගෙන් අහන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි “හරිද ලිපිනය ලියලා තියෙනවා” කියලා. ඔය හැම වෙලාවෙම මට පැහැදිලි කරලා දෙන්න වෙනවා මහරනුගේගොඩ කියන්නෙ එක ගමක නමක් වග. වැරදිලා වගේ කවදහරි  ඔය දේශපාලකයෙක් වෙන්න ලැබුනොතින් හැම දේකටම කලින් කරන්නමෙ ගමට මගෙ නම තියන එක. මෙහෙම කිව්වට කවුරුවත් කලබල වෙන්න එපා. හීනෙන් හරි ඔය වගේ දෙයක් හිතන එකෙත් පොඩි ආශ්වාදයක් තියෙනවනෙ. අනිත් ගැටඵව ඊටත් වඩා සංකීර්ණයි. මං කලින් සඳහන් කරපු ලේඛකයා ජීවත් වෙන්නෙ ලන්ඩන් නුවර. මං තාම ඉන්නෙ  ගමේ. දැන් මොකද කරන්නෙ. “ගෙදර සිටම ලියයි” වගේ යෙදුමක් පාවිච්චි කරන්නත් බැහැ. මතක ඇති කාලෙකට රජරටට වත් ගිහිල්ලා නෑ. “මගේ සටහන” ට ලියන්නා ගැන හැඳින්වීමක් යොදන අදහස ඒක නිසා අත ඇරලා දාන්න වුනා අකමැත්තෙන් වුනත්. එහෙම නොවුනනම් ලිපියට හැඳින්වීම මෙන්න මේ විදිහට ලියවෙන්න තිබුනා.

“මහරනුගේගොඩ වරුණ පෙරේරා ගෙදර සිට”

වැරදිලාත් වත් ඔය පේලිය යොදා ගත්ත නම් “මගේ සටහන” හි අන්තර්ගතය ගැන කෙසේ වෙතත් ඔය විකාර හැඳින්වීම ගැන ප්‍රතිචාර ලැබෙන්න තිබුනා. ඔය සියලුම කාරණා සලකා බලා අවසානයෙදි එළඹුන නිගමනය තමයි නිර්නාමිකව ලියන එක. අකමැත්තෙන් වුනත් හිත හදා ගත්තා සියලු ආශාවන් ඉශ්ඨ කර ගන්න බැහැනෙ අපිට කියල හිතාගෙන. මිනිස් ජීවීතේදි අපි ලබා ගන්න , කරන්න කැමති මොන තරම් දෙවල් තියෙනවද?  හිතේ තිබුන පළියට හැම දෙයක්ම ලැබෙන්නෙ නෑ නෙ. ස්භාව ධර්මය ඔහොම තමයි කියල හිත හදාගන්න තමයි වෙන්නෙ. “මගේ සටහන” වැඩිය දිගට ලියන්න එපයි කියලත් ප්‍රතිචාරයක් ලැබුනා. අපිළිවෙල කම නිසාම තාම හැම ලිපියම නිශ්චිත වචන ප්‍රමාණයකට සීමා කරන්න බැරිවුනා. ඉස්සහර ලිපි වලදි අඩු පාඩු මඟ ඇරේවි. මෙවර “මගේ සටහන” අවසන් කරන්න  හදන්නෙ අපි කාගෙත් ප්‍රියතම ක්‍රීඩයෙක් වුන සනත් ජයසූරියට සුබ පතන ගමන්. සනත් ගැන කියන්න තියෙන්නෙ මෙන්න මේ දේ තමයි.
“පැරණි සොල්දාදුවෝ නොමියෙති”
 
 

December 6, 2007

නොසිතු දේම සිදුවේ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 3:12 am

“මගේ සටහන” ට දිගින් දිගටම ප්‍රතිචාර ලැබෙනවා. ඒ සීයලු දෙනාටම නැවත වාරයක් තුති පුද කරනවා. ඒ වගේම නොනවත්වා ලියන්න දිරි ගැන්වීම් ලබා දීම ගැන සතුටුයි. එහෙනම් ඉතින් මෙවර “මගේ සටහන” ආරම්භ කරනවා.

“මගේ සටහන” සතිපතා ලියවෙන්නක් වුනත් මේ සතියෙ සටහන බොහෝ දුරට ලියන්නෙ නැතිව ඉන්න ඉඩ තිබුනා. එහෙම වුනේ ගිය සති අන්තයේ මුහුණ දීමට සිදු වුන යම් සිද්ධියක් නිසා.අන්තිමේදි ළඟ හිටපු යාලු මිත්‍රයන්ගේ පිහිටෙන් බෙල්ල බේර ගන්න ලැබුනා. වෙච්ච වැඩේ මේ වගේ ප්‍රසිද්ධ තීරු ලිපියකින් කියන්න අමාරුයි. ඒක නිසා කියවන උදවිය අමනාප වෙන්න එපා. “දන්නෝ දනිති, නොදත්තෝ කට ඇරගෙන බලා සිටිති”.  කොහොම වුනත් හැම දේම සිද්ධ වෙන්නෙ බොහොම අනපේක්ෂිත විදිහට. පහුගිය දවසක  නුගේගොඩ නගරයෙ බෝම්බ පිපිරීම සිද්ධ වුනු දවසෙ මමත් ගියා. මං යනකොට විනාඩි පහක් වත් ගතවෙලා තිබුනෙ නෑ. වැරදිලාවත්  නුගේගොඩ නොයන මට එදාම අවශ්‍යතාවයකට යන්න සිද්ධ වුනා. කාල වේලාව සුලු එහා මෙහා වීමකින් අපේ විශ්ව විද්‍යාල සඟයෙක් තමන්ගෙ ජීවිතේ බේරගෙන තිබුනා. නමුත් තවත් උදවිය අවාසනාවන්ත වුනා. කල්පනා කරලා බලද්දි අනපේක්ෂිතව සිදුවෙන සිදුවීම් වලට මුහුණ දෙන්න අපිට හැකියාව තියෙන්න අවශ්‍යයයි කියලා හිතෙනවා. මං ඉතා තදින් ආස කරන කථාවක් තියෙනවා. සමහරවිට මේක පොතක පළවුනු එකක් වෙන්න ඇති. නමුත් මේ කථාවෙ අපූරු ජීවන දර්ශනයක් ගැබ්වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක්  කියන්න හිතුනා.

ඔය චීන රටේ තියෙනවනෙ සෙන් ආශ්‍රම. ඒවා ඉතාමත් විනයානු කූල සහ විධිමත් අධ්‍යාපන ආයතන ලෙස ප්‍රකටයි.  දවසක් එක්තරා ගමක හිටපු තරුණයො දෙදෙනෙක් ඔය සෙන් ආශ්‍රමයක නැවතිලා සටන් ක්‍රම හැදෑරීමෙ අරමුණින් ගෙදරින් පිටත් වුනා. මේ දෙන්නා අතරමග හිටිය උදවියගෙන් මග සලකුණු අහගෙන තමයි පිටත් වුනේ. ඔහොම යද්දි එක්තරා මංසන්ධියකට ළඟා වුනා මේ දෙන්නා. වටපිට බලද්දි හිටියලු වයසක මිනිහෙක්. ඒ මහල්ල ගෙන් ඇහුවලු අර ආශ්‍රමයට යන පාර. ඒ මහල්ලා කීවලු “වම් පස මාර්ගය ළඟයි. නමුත් සොර සතුරු උවදුරු බහුලයි, එම නිසා දකුණු පස මාර්ගය වඩා යහපත්” කියලා. මේ දෙන්නත් මහල්ලගෙ කීම පිළි අරගෙන දකුණු පස මාර්ගය ඔස්සෙ  ගමන් ආරම්භ කලාලු. නමුත් අතරමගදි සොරුන් කණ්ඩායමකට අහුවෙලා මේ දෙන්නා සතු සියලුම දේවල් අහිමි වුනාලු . ඉතින් යන්තම් බේරිලා ආශ්‍රමයට ළඟාවුනාලු මේ දෙන්නා. එතකොට ආශ්‍රමයෙ ප්‍රධාන හිමි නම මෙයාලා පිළිගෙන ඇහුවලු මොකද වුනේ කියලා. ඉතින්  විස්තරේ කිව්වම ප්‍රධාන හිමි නම ප්‍රශ්නයක් යොමු කරාලු. ප්‍රශ්නෙ තමයි මේ සිද්ධියෙන් ගත යුතු පාඩම මොකද්ද කියන එක. පළවන තරුණයා කිව්වලු “මිනිස්සු කියන කිසිම දෙයයක් විශ්වාස කරන්න හොඳ නෑ” කියලා. දෙවන තරුණයා කිව්වලු “බලාපොරොත්තු නොවන දේ සිදුවිය හැකි බව බලාපොරොත්තු විය යුතුයි”. අන්තිමේදි ප්‍රධාන හිමි නම දෙවන තරුණයා විතරක් රඳවගෙන අනෙක් තරුණයා ආපසු පිටත් කලාලු. සරලව කියනවනම් නොහිතන දේ සිද්ධ වෙන බව අවබෝධ කරගෙන ඉන්න එක හොඳයි. කතන්දරේ කිව්වට මුකුත් හිතන්න එපා. ජීවිතේ සිද්ධ වෙන දේවල් වලට වැටෙන්නෙ නැතුව කටයුතු කරගෙන යන්න ඒ විදිහට හිතන එක වැදගත් කියලා හිතුන නිසයි ලිව්වෙ.

එක අතකට ජීවිතෙ ටිකක් නිදහස් මේ දවස් වල. මොකද විශව විද්‍යාලෙ යන්න නැති නිසා. ගියානම් assignment , project සහ lectures . ටික දවසක් කරගෙන යනකොට එපා වෙනවා. අපි ඉතින් හැමදාම කලේ ඔය විභාග ලියන එක තමයි. කවදා ඉවර වෙයිද කියලා බලාගෙන  ඉන්නෙ.අපේ බැචාලට කොච්චර කිව්වත් කට්ටිය සෙට් වෙන්න කතා කලහම මග අරිනවා. එක්කො මොකක් හරි වැඩක් කියයි, ගමේ යනවා කියයි. තව සඟයෙක් කිව්වා ගෙදරින් එලියට බහින්න බයයි මේ දවස් වල කියලා. අන්තිමේදි මම තීරණය කලා කාටවත්ම ඔය සෙට් වෙන්න අඬගහන්නෙ නැතුව ඉන්න මීට පස්සෙ. කස කාරයො නැති වුනාට පෙරහැර යයිනෙ කරදරයක් නැතුව.
කාලයත් එක්ක මිනිස්සු කොහොමත් වෙනස් වෙනවනෙ. ඒකට නොයෙක් හේතු සාධක බලපානවා. අතේ මිටේ මුදල් හදල් නැති වුනාම හරි කරදරයි. ඉබේම වෙනස් වෙන්න සිද්ද වෙනවා. ඔය කාරණාව සමහර විට හරි අපූරු  ආකාර වලින් බලා ගන්න පුලුවන්. මොකද දන්නවද කාරණය. ඉස්සර උදේ අපේ ගෙවල් ගාව බස් නැවතුමේ ඉන්න කොට තව ගමේ අඳුරන උදවිය හම්බ වෙනවනෙ. ගොඩක් වෙලාවට බස් ටිකට් එකට අනුග්‍රහය දක්වන්න අඳුරන උදවිය පැකිළෙන්නෙ නෑ ඒ දවස් වල. මොකද බස් ගාස්තු , ජීවන වියදම මේ තරම් තදට දැනුනෙ නෑ නෙ. දැන් ඉතින් වැරදිලා  ගත්තොත් මිසක් ටිකට් ගන්නෙ නෑ වෙන කෙනකුට. වැඩේ ඉතින් මට පාඩුයි.  දැන් රුපියල්එකොළහෙ ටිකට් එක ඒ දවස් වල රුපියල් තුනයි. පහේ පන්තියෙ ඉන්න කොට මං ඉස්කෝලෙ ආවෙ ගියෙ තනියම. හැමදාම උදේට අම්මා රුපියල් පහක් දෙනවා. යන්න එකයි පනහයි. එද්දි රුපියල් තුනයි.
යද්දි අඩු මුදලකුයි එද්දි වැඩි  මුදලකුයි වැය වෙන්න හේතුව මේකයි. උදේ යද්දි ගෙවල් ගාව ඉඳන් කඩවතට යන්න තනි බස් එකක් තියෙනවා. කඩවත ඉඳලා ඉතුරු දුර යන්නෙ පයින්. එනකොට එන්න වෙන්නෙ රාගම හරහා. ඒක බස් දෙකක ගමනක්. භාගෙ ටිකට් එක එකයි පනහයි . දවසට සත පනහක් ඉතුරුයි. කොහොමටත් ඒ දවස් වල ගෙදරින් අමතර මුදල් දෙන්නෙ නෑ. ඒ තරම් අවශ්‍යතාවයක් දැනුනෙත් නෑ. එච්චර කඩචෝරු කන්න පුරුදු වෙලත් හිටියෙ නෑ මම. ඉතුරු සල්ලි වලට කරපු දේවල් මතක නෑ දැන් නම්. මොනව වුනත් පොඩි දවස් වල සල්ලි නාස්ති කරන්න පුරුදු වෙලා හිටියෙත් නෑ. හැබැයි බස් එකේ කෝච්චියෙ යද්දි පුංචි කට්ට වැඩ කරලා තියෙනවා ගාන ඉතුරු කර ගන්න. සාමාන්‍යයෙන් අවුරුදු දොළහට අඩු ළමයින්ට විතරනෙ භාගෙ ටිකට් වලින් යන්න පුලුවන්. මම ඉතින් නවයෙ පන්තියෙදිත් භාගෙ ටිකට් අරගෙන යන්නෙ. කොන්දොස්තරට සැක හිතුනට හොයලා බලන්න විදිහකුත් නෑ නෙ. ඒ දවස් වල බස් එකේ යද්දි මට වයස දොළහයි අනිත් වෙලාවට දාහතරයි. දහයෙ පන්තියෙදි වැඩේ නවත්තන්න වුනා  මොකද දිග කලිසම් ඇඳගෙන අවුරුදු දොළහයි කියලා කියන්න බෑනෙ. දහයෙ පන්තියෙ ඉඳන් ආවෙ ගියෙ කෝච්චියෙ. ඔය වයස ඉතින් විරුද්ධ පාර්ශවයෙ උදවිය කෙරෙහි පිරිමි ළමයින්ගෙ අවධානය යොමු වෙන්න පටන් ගන්න අවධිය.ඒ කාලෙ ගැන කියන්න තරම් වරදක් නෑ.  කොච්චර බැණුම් ඇහුවත් යන්නෙ පා පුවරුවෙ. පණ්ඩිත කම ඉහටත් උඩින්. දැන් තමයි ඒක කල්පනා වෙන්නෙ. එක දවසක් වැටෙන්නත් ගියා පා පුවරුවෙ යද්දි.
 පුරුවෙ වාසනාවක් තිබිලද කොහෙද වෙන මගියෙක් අල්ල ගත්තා වැටෙන්න නොදී. එහෙම නොවුනම්  “මගේ සටහන” උපන් ගෙයිම මිය යනවා සිකුරුයි.  අවට හිටපු කිහිප දෙනා හොඳ බැණුම් වරුසාවකින් සංග්‍රහ කලා. ඒ බැණපු හැටි තාම මතකයි. ඒ වාඩේ නතර කලේ මගේ ඇස් ඉදිරි පිටදිම පාසල් සඟයෙක් පා පුවරුවෙ ගිහින් අනතුරට පත් වෙනවා දැකලා. එදා නම් හොඳට බය වුනා. ඕනැවට වඩා පණ්ඩිත වීම හොඳ නැති බව තේරුම් ගත්තා ඒ සිදුවීම නිසා.කොහොමටත් ගැටවර වයසෙදි අපි හැමෝම එහෙමයි. කවුරුවත් කියන දෙයක් අහන්න කැමති නෑ. මොකක් හරි සිද්ධ වුනාම තමයි බරපතල කම ඔලුවට යන්නෙ. තව බොහොම සුන්දර දේවල් තියෙනවා කියන්න. ඉදිරි ලිපි වලදි nහෙමිහිට කියන්න බලාපොරොත්තුවෙන්ඉන්නවා. “මගේ සටහන” හරහා ආගිය තොරතුරු මතක් වෙද්දි සතුටක් දැනෙනවා. ගොඩක් දේවල් ඔලුවට එන නිසා “මගේ සටහන” ටිකක් අපිළිවෙලයි කියලත් හිතෙනවා වෙලාවකට. ඒක නිසා කියවන උදවිය ප්‍රතිචාර දක්වන තරමට වැඩේ නැගලා යයි. කලින්ම කිව්වා වගේ මේ සතියෙ ලිපිය කළබලකාරී වාතාවරණයක් මැද ලියවුනේ. තැනින් තැන අහුල ගත්තා වගේ දැනෙනවා.ලිපිය ඉවර කරන්න කලින් නුගේගොඩදි වෙච්ච අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරට පත් වුනු සියලු දෙනා ගැනම ශෝකය ප්‍රකාශ කරනවා. මැති ඇමතිවරුන් පිරිවරාගෙන ආරක්ෂකයො හිටියට අපි වගේ සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ මග තොටදි පරිස්සමින් යන එක තමයි. නැවත ලබන සතියෙදි “මගේ සටහන” හරහා හමුවෙමු.

Blog at WordPress.com.